අන්තවාදය යනු කුමක්ද?

07/05/2020

What is Extremism?

November 20, 2019 

අන්තවාදය යන්නෙන් අදහස් කරනු ලබන්නේ "අන්තයේ ගුණාත්මකභාවය හෝ තත්වය" එසේත් නැතිනම් "ආන්තික පියවර හෝ අදහස් වෙනුවෙන් පෙනී සිටීම" වේ. අන්තවාදීන් ලෙස සැලකෙන දේශපාලන න්‍යායපත්‍රවලට බොහෝ විට අන්ත වාමාංශික දේශපාලනය හෝ අන්ත දක්ෂිනාංශික දේශපාලනය මෙන්ම රැඩිකල්වාදය, ප්‍රතිගාමීවාදය, මූලධර්මවාදය සහ අන්තවාදය ද ඇතුළත් වන්නේය. මෙවැනි ඇතැම් මතදාරින් නිසා ජනතාවට නොයෙකුත් බලපෑම් සිදු වන්නේය. ඔවුන් සිය මතය අනෙකා කෙරෙහි බලෙන් පැටවීම නිසා පොදු ජනතාව නොයෙකුත් හිංසනයන්ට ගොදුරු වන්නේය. මෙවැනි සිදු වීම චීනයේ ඇතැම් ප්‍රාන්තයන්හි දැකිය හැකිය. ඔවුන් සිය මතය මිනිසුන් කෙරෙහි පැටවීම සඳහා දෙමව්පියන්ගෙන් දරුවන්ව වෙන් කොට ළමා ගොවිපොළවල් ඇතිකර තිබේ. ඔවුන්ගේ දෙමව්පියන්ට ආගමක් ඇදහීමේ නිදහස සම්පුර්ණයෙන්ම වලක්වා ඇත. මේවා පිළිකුලෙන් හෙලා දැකිය යුතු අන්තවාදය වේ.
කිසිම ආගමක මිනිසාට අහිතකර අන්තවාදයක් උගන්වා නැත. එහෙත් ඇතැම් අයගේ ක්‍රියා කලාපයන් නිසා ඔවුන් නියෝජනය කරන දහමට කැළලක් ගෙන දෙන්නේය. එසේ තිබියදී ඇතැම් අය කිසිම හේතුවක් නොමැතිව ඇතැම් මුස්ලිම්වරුන්ට අන්තවාදීන් යැයි නම් කොට ඇත. ඇත්තෙන්ම එය ඔවුන්ගේ නොදැනුවත් කම මිස ඉස්ලාම් දහමේ වරදක් නොවේ.
ඉස්ලාම් දෙවියන්ගෙන් මිනිස් වර්ගයා වෙනුවෙන් පහළ වූ දහමකි. එහි කිසිම බල කිරීමක් නොමැත. එම නිසා කැමති කෙනෙකුට එය පිළිපැදිය හැකිය. කැමති නැති කෙනෙකුට ඉන් වැලකි සිටිය හැකිය. එහෙත් එය පිළිපදින අය අකුරටම එම දහම පිළිපැදීම අර්ථදැක්වීම අනුව අන්තවාදය ලෙස පෙන්වා දිය හැකි වුවත් ඉන් කිසිවෙකුට හානියක් සිදු වන්නේ නැත. ආගම පමණක් නොව විද්‍යාව, ගණිතය වැනි විෂයයන් වුවද නිවැරදිව තේරුම් ගැනමට නම් ඒවායේ මුලධර්ම නිවැරදිව වටහා ගෙන තිබිය යුතුය. ඒවා අන්තයටම දැන ගත් තරමට වඩා හොඳ ප්‍රතිපල ලබා ගත හැකිය. එම නිසා එය ප්‍රතික්ෂේප කල යුතු අන්තවාදයක් නොවේ.
ඇතැම් අය ඉස්ලාම් අන්තවාදයක් ගැන කතා කලත් ඔවුන්ට ඉස්ලාම් දහම ගැන කිසිම දැනුමක් නොමැති වීම කනගාටුවට කරුණකි. එම නිසා ඔවුන් ඉස්ලාම් දහමේ ඇති ඇතැම් සංවිදානවල නම් පමණක් ඉදිරිපත් කරමින් ඉස්ලාම් දහමට මඩ ගැසීමට උත්සාහ කරති. මේ සඳහා ඔවුන් යොදා ගනු ලබන්නේ වහාබ් වාදයයි. එහෙත් එය දහම දෙසීම සඳහා මෑත කාලයේ බිහිවූ සන්විදනයක් බව ඔවුන් දැන ගත යුතුය. මේ අකාරයටම ඇතැම් අය ෂරියා නීතිය අනුව ජිවත් වීම අන්තවාදය ලෙස පෙන්වා දීමට උත්සාහ කරති. එහෙත් ෂරියාව යනු කුරානය සහ නබිතුමාගේ මග පෙන්වීම වේ. තවත් සමහරු තව්හිද් යනු අන්තවාදී සන්විදනයක් ලෙස වරදවා තේරුම් ගෙන ඇත. එහෙත් තව්හිද් යන්නෙන් අදහස් කරන්නේ අල්ලාහ්ගේ එකියභාවයයි. එම මුලික අවශ්‍යතාවය නොමැති විට ඉස්ලාම් දහමක් නොමැත.
මුස්ලිම්වරුන් රැවුල වැවීම සහ කාන්තාවන් ෆර්දාව ඇඳීම සමහරුන් දකින්නේ අන්තවාදය ලෙසය. එහෙත් එසේ සිතන අය දැනගත යුත්තේ එය දහමේ අවශ්‍යතාවයක් බවයි. එම නිසා සෑම මුස්ලිම්වරයෙකුම ඒවා පිළිපැදීමට බැඳී සිටින්නෝය. ඒ අකාරයටම දහමින් අනුමත කරන දේවල් (හලාල්) පරිබෝජනය කිරීමත් දහමින් තහනම් කොට ඇති (හරාම්) දේවල් වලින් වැලකී සිටීමත් දහමේ අවශ්‍යතාවයන් ය. එම නිසා මුස්ලිම්වරුන් ඒවා අනුගමනය කල යුතුව තිබේ. තවද අල් කුරානයේ සඳහන් වන පරිදි මුස්ලිම්වරුන් සම්පුර්ණයෙන්ම දහම තුලට පිවිසිය යුතුය. එය පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් පවසා ඇත.
"විශ්වාසවන්තයිනි! නුඹලා මුළුමනින්ම ඉස්ලාමයෙහි පිවිසෙන්න. සාතන්ගේ මඟ නොපිළිපදින්න. නියතව ඔහු නුඹලාට ප්‍රකට සතුරා වේ" (කුරානය 2:208).
මේ නිසා මුස්ලිම්වරයෙකු දහම තුල සම්පුර්ණයෙන්ම ජීවත්වීම අර්ථදැක්වීම අනුව අන්තවාදය වුවත් එමගින් කිසිවෙකුට හානියක් සිදු වන්නේ නැත. ඇත්ත වශයෙන්ම මුස්ලිම්වරයෙකු දහම අනුව ජිවත් වීම ඔහු ලබන භාග්‍යයක් ලෙස සැලකිය යුතුය.

By Fasy Ajward. 

B.Sc (Special) Hons.Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.