අල්ලාහ්ට සමානයන් තැබීම

07/05/2020

Keeping peers with Allah

January 12, 2020 

අල්ලාහ් එක්කෙනෙකි. ඔහුට කිසිවෙකුගේ සහාය අවශ්‍ය නොවේ. මෙය ඉස්ලාමයේ ප්‍රධාන ඉගැන්වීමකි. එබැවින් අල්ලාහ්ට සමානයන් තැබීම හෝ ඔහු වෙනුවෙන් පමණක් කල යුතු වැඳුම් පිදුම් වලදී තවත් අය එකතුකර ගැනීම බලවත් වරදක් වන්නේය. මේ නිසා ලුක්මාන් අලෛහි සලාම් සිය පුතුන්ට මෙසේ අවවාද කළේය.
"ලුක්මාන් තම පුතාට අවවාද කරන කල පැවසුවේ, 'මාගේ දයාබර පුතුනි! අල්ලාහ්ට කිසිම දෙයක් සම නොකරන්න! නියතවශයෙන්ම අල්ලාහ්ට වෙනත් දෙයක් සමකිරිම ඉතා දරුණු අපරාධයකි" (කුරානය 31:13).
අද බොහෝ අය අල්ලාහ්ට නමදින අතරම මළවුන් වෙනුවෙන් උත්සව පවත්වා ඔවුන්ගෙන් ද උදව් පතනු දැකිය හැකිය. මෙය අල්ලාහ් සමා නොකරන වරදක් බව ඔවුන් තේරුම් ගත යුතුව තිබේ. එවැනි දෙයක් සඳහා අල් කුරානයේ හෝ නබිතුමාගේ හදිස් වල මුලාශ්‍ර කිසිවක් නොමැත. එහෙත් බොහෝ නොමග ගිය උදවිය නොයෙකුත් හේතු දක්වමින් එම වරදේ නියලේන්නෝය. මේ නිසා සිදු වන්නේ තමන් අල්ලාහ් වෙනුවෙන් කරන පින් දහම් වලටත් කුලිය නොලැබී යාම ය. තවද එම ක්‍රියාවන් නිසා ඔවුන් අල්ලාහ්ගේ කෝපයට ඇතුල් වන්නෝය.
"නියතවශයෙන්ම අල්ලාහ් ඔහුට (වෙන දෙයක්) සම කරනු ලැබීම ක්ෂමා නොකරන්නේය. එය හැර අනෙක්වා ඔහුගේ අභිමතය පරිදි ක්‍ෂමා කරන්නේය. කවරෙක් (නැමදීමේ දී) අල්ලාහ්ට (යමක්) ආදේශ කරයිද ඔහු නියතවශයෙන්ම මහා පාපයක් ගොතන ලද්දෙක් වේ" (කුරානය 4:48).
සාස්තෘවරුන්ට හෝ ඔවුන් මිය ගිය පසු ඔවුන්ගේ සොහොන්වලට හෝ ගොස් ප්‍රාර්ථනා කිසිම දෙවියන්ට සමානයන් තැබීමකි. මෙය විශාල පවක් වන්නේය. ඇයිද යත් මුස්ලිම්වරුන්ගේ ප්‍රාර්ථනයන් යොමු කල හැක්කේ අල්ලාහ්ට පමණි. මෙවැනි වරදක් දැන දැන සිදු කරන්නේ නම් ඔහුට දෙවියන්ගෙන් සමාවක් ලැබෙන්නේ නැත. එබැවින් ඔවුන් මරණයට පත්වීමට පෙර දෙවියන්ගෙන් සමාව ගෙන නොතිබුනේ නම් සදාකල් නිරයට පාත්‍ර වීමට නියමිතය. අල් කුරානයේ මෙසේ සඳහන් වේ. "නුඹගේ 'ර‍බ්' ඔහුට හැර (වෙන කිසිවෙකුටත්) නැමදුම් නොකළ යුතු යැයි නියෝග කරයි" (කුරානය 17:23). කුරානයේ තවත් තැනක මෙලෙස සඳහන් වේ. "අවංක ලෙස අල්ලාහ්ට පමණක් මිස වෙන කිසිවෙකුට නැමදුම් කරන ලෙස ඔවුන්ට නියෝග කෙරුවේ නැත" (කුරානය 98:5). මෙසේ තිබියදී අල්ලාහ්ට පමණක් කල යුතු නැමදීම් සමග තවත් කෙනෙකු එකතු කර ගත නොහැකිය. මේ නිසා නැමදීමේදී තවත් කෙනෙකුගේ සිත දිනා ගැනීමට හෝ වෙනත් කෙනෙකු රැවටීමට එය සිදු කරන්නේ නම් එයද දෙවියන්ට සමානයන් තැබීමක් ලෙස සලකනු ලැබේ. මේ නිසා ඉතා පිරිසිදු චේතනාවෙන් පමණක් අල්ලාහ්ට නමදුම් සිදු කල යුතු ය.
ආදම් තුමා පටන් නුහ් නබි තුමා දක්වා සොහොන් වන්දනාව තිබුනේ නැත. එහෙත් නුහ් නබිතුමාගේ කාලයේදී එය ආරම්භ විය. ඒ අනුව එකල ජීවත්වූ සාස්තෘවරුන්ට ගෞරව කිරීමේ පදනමින් ආරම්භ කරන ලද මෙය අවසාන කෙරුනේ ඔවුන් අල්ලාහ්ගේ අතරමැදියන් ලෙස පත් කර ගැනීමෙනි. එහෙත් අල්ලාහ්ට අතරමැදියන් පත්කර ගැනීම විශාල පාපයක් ලෙස ඉස්ලාම් දහම පෙන්වා දෙන්නේය. මළවුන්ගෙන් ප්‍රර්ථනා කිරීම හෝ ඔවුන්ව අතරමැදියන් ලෙස පත්කරගනිමින් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම කෙනෙකුව දහමින් බැහැර කල හැකි වරදවල් ය. එවැනි වරදක් සිදු කරමින් කරන සලාතයට හෝ උපවාසයට හෝ අනෙක් පින් දහම් වලට කුසල් නොලැබෙන්නේය. ඒ අනුව කෙනෙකුගේ කුසල් අල්ලාහ් වෙත පිලිගැනීම සඳහා තිබිය යුතු මුලික කොන්දේසිය වන්නේ ඔහු අල්ලාහ්ට සමානයන් නොතැබීමය. "ඔබ පිළිම වන්දනාවේ යෙදෙනවා නම්, නුඹලාගේ සියලු ක්‍රියා නිෂ්ඵල වන්නේය. තවද ඔබ පරාජිතයින් සමඟ සිටින්නෙහිය" (කුරානය 39:65).
මුස්ලිම්වරයෙකු යාක්ඥා කල යුත්තේද පඬුරු දැමිය යුත්තේද සලාතය ඉටු කල යුත්තේද අල්ලාහ්ට පමණි. මේ නිසා කිසිම කෙනෙක් මළවුන් වෙනුවෙන් පඬුරු දැමීම හෝ ඔවුන්ගෙන් යාක්ඥා කිරීම නොකල යුතුය. මෙය පැහැදිලිව දැකිය හැක්කේ මුස්ලිම්වරයෙකු සලාතය ඉටු කරන අවස්ථාවේදීය. ඔහු ෆාතිහා සුරාව පරායණය කරන අවස්ථාවේදී "අපි නුඹවම නමදිමු. නුඹගෙන්ම උදව් පතමු" (කුරානය 1:5) යනුවෙන් පවසන නිසාය. තවද ඔහු අත්තහියාත් පරායණය කිරීමේදී පවසන්නේ සෑම පඬුරක්ම අල්ලාහ්ට බවයි. එසේ තිබියදී මුස්ලිම්වරයෙකුට කිසිම හේතුවක් නිසාවත් මළවුන්ගෙන් හෝ සාස්තෘවරුන්ගෙන් උදව් පැතීමට හෝ ඔවුන් වෙනුවෙන් පඬුරු දැමීමට හෝ ඔවුන් වෙනුවෙන් සතුන් කැප කිරීමට හෝ නොහැකිය.


By Fasy Ajward. B.Sc(Sp.Phy) Hons.Japura.Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/