අල්ලාහ් සියල්ල දන්නේ නම්, මිනිසාව පරීක්ෂා කරන්නේ ඇයි?

07/05/2020

If Allah Knows All, Why Examine Man?

January 16, 2020 

අල්ලාහ් සියල්ල දන්නේ නම්, මිනිසාව පරික්ෂා නොකරම ස්වර්ගයට හෝ නිරයට දැමිය නොහැක්කේ ඇයිදැයි ඇතැම් අය ප්‍රශ්න කරන්නේය. ඇත්ත වශයෙන්ම කාලය මැවූ අල්ලාහ් කාලයෙන් සිමා නොවන අතර ඔහුට එවැනි දෙයක් කිරීම අසීරු කරුණක් ද නොවේ. අල්ලාහ්ගේ දැනුම කොතරම්ද කිවහොත් මිනිසා යමක් කිරීමට ප්‍රථමයෙන්ම මිනිසා කරන්ට යන දේවල් ගැන ඉතා නිවැරදිව දන්නේය. එම නිසා මිනිසාගේ දෛවය ගැන ඔහු කලින්ම ලියා හමාරය. එසේ කිරීමෙන් මිනිසාට කිසිම අසාධාරණයක් නොවන අතර එය අල්ලාහ්ගේ දැනුම හා සම්බන්ද කාරනාවකි. උදාහරණයක් වශයෙන් දක්ෂ ගුරුවරයෙකුට පන්තියේ සමත්වන සිසුන් කව්ද අසමත්වන සිසුන් කව්දැයි කලින්ම කිව හැකිය. ඒ බව ඔහු කලින්ම ලියා තැබීමෙන් එම සිසු සිසුවියන්ගේ විභාග ප්‍රතිපලවල කිසිම වෙනසක් සිදු වන්නේ නැත. එසේම ඇතැම් දරුවන් සමත් විමටත් ඇතැම් දරුවන් අසමත් වීමටත් එම ගුරුවරයාගේ සටහන හේතුවක් වන්නේද නැත. ඒ අකාරයටම දෙවියන් මිනිසාගේ දෛවය ලියා තැබීමෙන් මිනිසාට කිසිම අසාධාරණයක් සිදු කරන්නේ නැත.
මෙලොව ජීවිතයේදී මිනිසා මුහුණ දෙන පරීක්ෂාවකින් පසු ලැබෙන ස්වර්ගය හෝ නිරය ගැන මිනිසා අනිවාර්යයෙන්ම සෑහීමට පත්විය යුතුය. ඇයිද යත් එය ඔහු විසින්ම ලබා ගත් ප්‍රතිපල අනුව තීරණය කරනු ලබුවක් නිසාය. එසේම එම ප්‍රතිපල දෙස බලා දෙවියන්ට දොස් කීමටද නොහැකිය. ඇයිද යත් මිනිසා කරන දේවල් ගැන දෙවියන් කලින්ම දැනගෙන සිටියත් ඒවා මිනිසාගේම ක්‍රියාවන්ගෙන් ඔප්පු කොට පෙන්වා ඇති නිසාය.
ස්වර්ගයට හෝ නිරයට දැමීමට පෙර පරික්ෂා කිරීමේ තවත් වැදගත්කමක් තිබේ. එනම් මිනිසාව පරික්ෂා නොකර දෙවියන්ගේ දැනුම පදනම් කරගෙන එක් කොටසක් ස්වර්ගයටත් තවත් කොටසක් නිරයටත් දැමුවේ නම් ස්වර්ගය ලැබුණු අය සතුටට පත්වනු ඇති අතර නිරයට දැමු අය ඊට එරෙහි වනු ඇත. නිරයට දැමු අය පවසනු ඇත්තේ අවස්ථාවක් ලබා දුන්නේ නම් ඔවුන් පින් දහම් කොට ස්වර්ගයට යන බවයි. ඒ අනුව බලන කල සෑම කෙනෙක්ම පරික්ෂා කොට බලා එහි ප්‍රතිපල අනුව ස්වර්ගයට හෝ නිරය ලබා දීම සාධාරණය.
මිනිසාට මෙලොවදී ලැබී ඇති පරීක්ෂාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. එම නිසා කිසිවෙකුට කොපි කිරීමෙන් සමත් වීමට නොහැකිය. ඒ අනුව සෑම කෙනෙක්ම දෙවියන්ගේ පරික්ෂාවන්ට වෙන වෙනම මුහුණ දීමට නියමිතව තිබේ. නබිවරුන් පවා දෙවියන්ගේ පරීක්ෂාවන්ට මුහුණ දී ඇත.
මිනිසාට මරණය දක්වාම පරීක්ෂාවන් එක පිට එකක් පැමිණීමට නියමිතය. ඒවාට මුහුණ දිය යුතු අකාරයද දෙවියන් පහළ කල දහමින් පෙන්වා දී තිබේ. ඒ අනුව ප්‍රශ්න පත්‍රය සහ ඊට අවශ්‍ය පිළිතුරු මිනිසාට දැනටමත් ලබා දී අවසානය. මිනිසා කල යුතුව තිබෙන්නේ ඒවාට සරිලන පරිදි තමන්ව සුදානම් කර ගැනීම පමණි. එහෙත් බොහෝ අය එම පරික්ෂාවන්ගෙන් අසමත් වන්නේ ඔවුන්ගේ උඩඟු කම නිසාය. එහි ඇති මුලිකම ප්‍රශ්නය දෙවියන්ව විශ්වාස කිරීම වේ. එහෙත් බොහෝ අය එම සරල ප්‍රශ්නයට පවා පිළිතුරු සැපයීමට අසමත්ව සිටිති.
By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.J.Pura,Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/