අල් කුරානයට අනුව ජේසුතුමා කව්ද?

07/05/2020

Who is Jesus according to the Quran?)

November 29, 2019 

ඉස්ලාම් දහම අනුව ජේසු තුමා ශ්‍රේෂ්ඨ නබිවරයෙකි. අල් කුරානයේ එතුමාගේ මව වන මරියම් තුමියගේ නමින් පරිජ්ජේදයක් පහල කොට ඇත. තවද ජේසු තුමාගේ නම මුහම්මද් නබිතුමාගේ නමට වඩා වැඩි වාරගනනක් කුරානයේ සඳහන් වේ. එසේම ජේසු තුමා විසින් සිදුකළ බොහෝ ප්‍රාතිහාරයන් කුරානයේ සහ නබි වදන්වල සඳහන් වේ. එහෙත් ජේසු තුමාගේ දේවත්වයක් ගැන කිසිම සඳහනක් කුරානයේ හෝ නබි වදන් වල දැකිය නොහැකිය. තවද ජේසු තුමා යුදෙව්වන් අතින් ඝාතනය නොවූ බවත් එම කරුණ මිනිසුන්ගෙන් වසම් කල බවත් කුරානය පෙන්වා දෙන්නේය. ජේසු තුමා ලෝක අවසානයට පෙර නැවතත් පැමිණීමට නියමිත බව ඉස්ලාමිය ඉගැන්වීම වේ. එසේ පැමිණෙන ඔහු අල් කුරානයට අනුව ජනතාව පාලනය කිරීමට නියමිතය.
මරියම් තුමිය ජේසු තුමාව පිළිසිඳ ගත්තේ පියෙකු නොමැතිව බව කුරානයේ ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත. එපමණක් නොව එතුමා විසින් බොහෝ ප්‍රාතිහාරයන් සිදු කොට තිබේ. ඒ අනුව ඔහු තොටිල්ලේදීම කතා කොට ඇත. උපතින්ම අන්ද වූ අයට පෙනුම ලබා දී තිබේ. ලාදුරු රෝගීන් සුවපත් කොට ඇත. ඒවා සියල්ලම එතුමා කලේ දෙවියන්ගේ උදව්වෙනි. එම නිසා ඔහු කිසිම අවස්ථාවකදී දෙවියන් බව හෝ දෙවියන්ගේ පුත්‍රයෙකු බව හෝ පවසා නැත. බයිබලයට අනුවද දෙවියන් එක්කෙනෙකි. ඒ බව පහත දැක්වෙන බයිබල් වැකි වලින් පැහැදිලි වන්නේය.
"ඉෂ්රායිල්වරුනි, අපගේ දෙවිඳුන් එක්කෙනෙකි" (ද්විතීය කථාව 6: 4). තවද බයිබලයේ තවත් තැනක මෙසේ සඳහන් වේ. "ඉෂ්රායිල්වරුනි, අපේ දෙවි ස්වාමීන් වහන්සේට සවන් දෙන්න, ස්වාමීන් එක් කෙනෙක්ය" (මාක් 12:29). බයිබලයේ මෙවැනි තවත් බොහෝ වැකි තිබේ. ඒවා සියල්ලෙන්ම පවසන්නේ දෙවියන් එක්කෙනෙක් බවයි.
දෙවියන් පිලිබඳ අල් කුරානයේ එන අර්ථදැක්වීම අනුව ඔහු එක්කෙනෙකි.ඔහුට සමාන වෙන කිසිවෙකු නැත. ඔහු කිසිවෙකුගේ අවශ්‍යතාවන් නොමැත්තා ය. ඔහු කිසිවෙකුව ප්‍රසූත කලේ නැත. එසේම කිසිවෙකුගේ කුසින් ඔහු ප්‍රසුත වුයේද නැත. තවද ඔහුට සමාන කිසිවෙකුත් නැත (කුරානය 112:1-4). මෙම අර්ථ දැක්වීම අනුව ජේසු තුමා දෙවිකෙනෙක් විය නොහැකිය. ඇයිද යත් ජේසු තුමා මරියම් තුමියගේ කුසින් උපත ලබා ඇත. තවද අනෙක් මිනිසුන් මෙන් කෑම අනුභව කොට ඇත. සතුරන්ගේ තාඩන පීඩනවලට ගොදුරු වී තිබේ. මේවා කිසිවක් සර්වබලධාරී දෙවියන්ට ඔබින්නේ නැත. එපමණක් නොව ජේසු තුමාව කුරුසයේ ගසන විට "මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මාව අත්හැරියේ මන්දැයි" පැවසූ බව බයිබලයේ සඳහන් වේ (Matthew 27:46). මේ අනුව පැහැදලි වන්නේ ජේසු තුමා දෙවිකෙනෙක් නොවන බවයි.
ජේසුතුමා විෂයෙහි අල්-කුරානයේ පහත සඳහන් පරිදි සඳහන් වේ."නියතව අල්ලාහ්, මරියම්ගේ පුත් මසිහ්යැයි පවසන්නෝ ප්‍රතික්ෂේප කළවුන් වන්නෝය. එහෙත් මසිහ් පැවසුවේ 'ඉස්රායිල්ගේ දරුවනි! මාගේ සමිඳුන්ද ඔබගේ සමිඳුන්ද වූ අල්ලාහ්වම නමදින්න' යනුවෙනි. නියතව කවරෙක් අල්ලාහ්ට (යමක්) සමකරයිද අල්ලාහ්, ඔහුට ස්වර්ගය තහනම් කරන්නේය. ඔහුගේ නවාතැන නිරය වන්නේය! අපරාධකරුවන්ට උදව්කරුවන් නැත" (කුරානය 5:72),
"නියතව ප්‍රතික්ෂේප කරන්නන් 'අල්ලාහ් තුන්දෙනාගෙන් කෙනෙකි'යි පවසන්නෝය. එහෙත් නැමදීමට සුදුසු සමිදුන් අල්ලාහ් හැර වෙන කිසිවෙකුත් නැත. තමන් පවසන දෙයින් ඔවුන් ඉවත්ව නොසිටින්නේ නම්, ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප කරන්නන්ට හිංසාව ඇතිකරන වේදනාව නියතය" (කුරානය 5:73).
" 'මරියම්ගේ පුත් මසීහ්' දුතයෙකු මිස අන් කිසිවෙකු නොවේ. ඔහුට පෙරද බොහෝ දුතයින් පැමිණ ඇත. ඔහුගේ මව සත්‍යවන්තියකි. ඔවුන් දෙදෙනාම ආහාර අනුභව කරන්නන් ම වුහ" (කුරානය 5:75)
ජේසු තුමාගේ උපත ගැන කුරානයේ එන විස්තරය මෙසේය. ජේසු තුමා මරියම් තුමියගේ කුසින් උපත ලබා ඇත. මරියම් තුමිය ඉම්රාන්තුමාගේ දු කුමරියයි. එසේ තිබියදී ඉමාන්ගේ බිරිඳ පිළිසිඳගෙන සිටින දරුවා, ජෙරුසලමේ පිහිටි ශුද්ධ දේවස්ථානයට දෙන බවට භාරයක් කොට ඇත. එහෙත් ඇය ප්‍රසුත කළේ ගැහැණු දරුවෙකි. කෙසේ වෙතත් එම දරුවාට මරියම් යන නම තබා දේවස්ථානයට භාර කොට ඇත. දේවස්ථානයේ භාරකරු වුයේ මරියම් තුමියගේ ඥාතියෙකු වන zසැකරියා තුමාය. එතුමා ඇය වෙනුවෙන් දේවස්ථානයේ 'මිහ්රාබ්' නමැති කුටියක් සාදා නතර වීමට ඉඩ හැර ඇත. ඉම්රාන් තුමා ඇයව බැලීමට ගිය සෑම අවස්ථාවකදීම ඇය පලතුරු අතැතිව සිට ඇත. ඒවා දැක පුදුමයට පත් එතුමා "මේවා ඔබට ලැබෙන්නේ කොහින්දැයි" විමසා ඇත. ඊට පිළිතුරු වශයෙන් ඇය පවසා ඇත්තේ අල්ලාහ් තමන් කැමති අයට ප්‍රමාණය ඉක්මවා ආහාර ලබා දෙන බවයි.
කාලය ගෙවී ගියේය. මරියම් තුමියද වැඩි වියට පත් වුවාය. දිනක් ඇය තම කුටියේ යාක්ඥාවේ යෙදී සිටින අවස්ථාවේදී මිනිස් වෙස් ගත් දේවදුතයෙක් ඇය වෙත පැමිණ තිබේ. එම දේව දුතයාව දැකීමෙන් භීතියට පත්වූ ඇය, 'සැබැවින්ම ඔබගෙන් මාව ආරක්ෂාකරන මෙන් අල්ලාහ්ගෙන් මා ප්‍රාර්ථනා කරමි, ඔබ හොඳ ගති පැවතුම් ඇත්තෙකු නම් (මෙතනින් ඉවත්ව යනු)'යි පවසා ඇත. එවිට එම දේවදුතයා 'පාරිශුද්ධ වූ පුතෙකු ඔබට ලබා (දීම ගැන දැනුම්) දීම සඳහා මාව ඔබගේ දෙවියන් විසින් ඔබ වෙත එවන ලද දුතයෙක් වෙමි'යි පවසා ඇත. එවිට ඇය 'මට කෙසේ නම් දරුවෙක් ලැබේවිද? කිසිම මිනිසෙකු මා ස්පර්ශ කර නැත! මම අපචාරයේ හැසිරෙන්නෙකු ද නොවෙමි!'යි පවසා ඇත. එවිට එම දේව දුතයා 'එසේ (සිදුවනු ඇත). එය මට ඉතා ලෙහෙසි දෙයකි. ඇය මිනිසුන් අතරේ එක් සලකුණක් වශයෙන්ද අපගේ වරප්ප්‍රසාදයක් වශයෙන්ද පත් කරන්නෙමු. මෙය අවසාන වශයෙන් මනඃකල්පිත කරන ලද කාරනාවකි. ඔබගේ දෙවියන් කියන්නේහි යි' පවසා තිබේ.
ඉන් පසු කාලය ගෙවී යත්ම මරියම් තුමිය ගැබ් ගත්තාය. එහෙත් පියෙකු නොමැතිව ගැබ් ගැනීම නිසා ඇය මහත් සේ සිත් තැවුලට පත්වුවාය. මේ හේතුවෙන් ඇය තමන් රැඳී සිටි දේවස්ථානයේ කුටියෙන් බැහැරවී ඇයගේ උපන් ගම වන නසරිත් (Nazareth) වෙත යාම සඳහා පිය නගා තිබේ. කල් යත්ම දරු ප්‍රසුතියේ දිනය ද ලඟා විය. එබැවින් ඇය එම ස්ථානයෙන්ද පිටව ගියත් වැඩි දුරක් යාමට මත්තෙන් ඇයගේ කුසේ සිටි දරුවා මෙලොවට බිහි කළාය. එම අවස්ථාවේදී ජිබ්රිල් දෙවදුතයා පැමිණ "දුක් නොවනු, ඔබගේ දෙවියන් මෙතන දිය පාරක් ගලා යාමට සලස්වා ඇත, මෙම රට ඉඳි ගස සොලවනු, ඔබට ඉන් ඉදුණු රට ඉඳි වැටීමට සලස්වන්නෙමු"යි පවසා තිබේ. මැරී ගොස් තිබුණු එම රට ඉඳි ගස නැවත ජිවය ලැබීම දුටු ඇයගේ සිතට දේවියන් කෙරෙහි විශ්වාසය වඩාත් ස්ථිර විය. මෙම සිදුවීමෙන් පසු ඇය එම බිලිඳා ද රැගෙන තම ගමට යාම සඳහා පිටත් වුවාය. එහි වැසියන් ඇය රැගෙන ගිය ළදරුවා ගැන විමසන්නට පටන් ගෙන ඇත. එහෙත් එම ජනතාව විමතියට පත් කරමින් එම ළදරුවා ඔවුන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දී ඇත.
කාලය ගෙවීයත්ම ජේසු තුමාට දෙවියන්ගෙන් දහම් පණිවිඩය පහළ විය. එහෙත් එකල සිටි ජනතාව ඔහුට බොහෝ හිරිහැර සිදුකොට ඇත. ඔහුගේ දේව පණිවිඩය පිළිගැනීමට අකමැති විය. අවසානයේදී ජේසු තුමාව කුරුසයේ තබා ඝාතනය කිරීමට ඔවුන් සැලසුම් කොට තිබේ. එහෙත් අල්ලාහ්ගේ සැලසුම අනුව ජෙසුතුමාව කුරුසයේ ගැසීමට නොහැකි වූ අතර වෙනත් කෙනෙක් ඒ වෙනුවෙන් කුරුසයේ ගැසීමට සලස්වා ඇත. පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් ඒ බව පැහැදිලි වේ.
"තවද "අල්ලාහ්ගේ රසුල් වන මරියම්ගේ පුත් ඊසා (හෙවත් මසීහු) නියත වශයෙන්ම අපි (කුරුසයෙහි තබා ඇණ ගසා) මරා දමුවෙමු"යි ඔවුන් කී බැවින්ද (ඔවුන්ට ශාප කළෙමු). (නමුත්) ඔහුව ඔවුන් කපා දැමුවේද නැත. ඔහුව ඔවුන් කුරුසයෙහි තබා ඇණ ගැසුවේද නැත. ( ඔහු සිටි කාමරයට ඔහුව සොයා ගිය කෙනෙකුව ඊසාගේ හැඩරුව ඇතිව වෙනස් කරන ලදී. ඊසා සොයා ගිය අනිත් අය ඔහුව කුරුසයේ තබා ඇණ ගැසුවෝය) මේ නිසා ඔවුන්ව සැකයෙහි ඇතුල් කරන ලදී. එබැවින් මෙයට විරුද්ධව කව්රුන් අදහස් දරන්නෝ ද ඔවුන් අනවශ්‍ය සැකයෙහි ගිලී යන්නෝය. අනුමානය අනුගමනය කිරීම මිස එහි ඔවුන්ට සත්‍ය වූ ඥානයක් නැත්තේය. ඇත්තෙන්ම ඔවුන් ඔහුව ඝාතනය කලේම නැත" (කුරානය 4:157).
ඉහත දැක්වෙන කරුණු අනුව ජේසු තුමා මිනිසෙකු මිස සර්වබලධාරී දෙවියෙකු නොවේ. කුරානයට අනුව ඔහු දෙවියන් සමීපයේ සිටින අතර ලෝකය අවසාන වීමට පෙර නැවතත් මෙම ලෝකයට පැමිණීමට නියමිතය. 


By Fasy Ajward.

B.Sc (Sp.Phy) Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/