ආගමක් අවශ්‍ය ඇයි?

08/05/2020

Why need a Religion?

May 09, 2018 

මිනිසා ඇතුළු විශ්වය ඉබේ ඇතිවී තිබුනේ නම් ආගමක් ගැන සිතීමට අවශ්‍ය නැත. ඇයිද යත් එවිට මිනිසා කිසිවෙකුට වගකිව යුතු නොවන නිසාය. නමුත් යතාර්ථය එය නොවේ. මේ විශ්වය සහ එහි ඇති සියළුම දේවල් දෙවිකෙනෙකුගේ මැවීමක් බව විශ්වය ගැන හැදැරීමේදී පෙනී යන්නේය. මෙය තේරුම් ගැනීමට මිනිසාට ලැබී ඇති බුද්ධිය හොඳටම ප්‍රමාණවත් ය.
දෙවියන් ගැන විශ්වාස නොකරන්නේ නම් දෙවිකෙනෙක් නොමැතිව විශ්වය බිහිවූ අන්දම පැහැදිලි කල යුතුය. එහෙත් කිසිවෙකු විසින් විශ්වය ඇතිවූ අන්දම හෝ මුල්ම ජිවය ඇතිවූ අන්දම මෙතෙක් සොයාගෙන නොමැත. ඒවා විස්තර කිරීම සඳහා වාදයන් පමණක් ඉදිරිපත් කොට තිබේ. එහෙත් වාදයන් ඉදිරිපත් කල පමණින් ප්‍රශ්නය විසඳෙන්නේ නැත.
විශ්වය ගැන හැදෑරීමේදී පෙනී යන වැදගත් කරුණක් නම් එය යම් කිසිවෙකුගේ බුද්ධිමත් මැවීමක් බවයි. එය ඥානාන්විත දෙවි කෙනෙකුගේ මැවීමක් නොවේ නම් විශ්වය පුරා ව්‍යාකුලතාවන් දැකීමට හැකිවනු ඇත. එහෙත් අපට දැකගත හැකි වන්නේ විශ්වය පුරා ඒකාකාරී බවක් පමණි. මෙය සැලසුම් සහගත මැවීමක් නොවන්නට එවැනි දෙයක් කිසිම ආකාරයකින් බලාපොරොත්තු විය නොහැකිය.
කෙසේ වෙතත් දෙවියන්ව පිළිගැනීමට සිදු වන්නේ විශ්වාසය මතය. ඇයිද යත් කිසිවෙකුට දෙවියන්ව දැකීමට ශක්තියක් නොමැති වීම නිසාය. මේ අනුව දෙවිකෙනෙක් ගැන දැනගැනීමට ඇති එකම ක්‍රමය ඔහු විසින් දෙන ලද පණිවිඩයක් හැදෑරීම වේ. එසේ නැතහොත් විශ්වය ගැන අධ්‍යයනය කොට දෙවිකෙනෙක් සිටිය යුතු බව නිගමනය කල යුතු වන්නේය.
විද්‍යාව නොදියුණු යුගයේදී මිනිසුන් විසින් ඉර, හඳ, ගස්, ගල් වලට සහ සාස්තෘවරුන්ට දේවත්වය ආරුඪ කොට තිබේ. එහෙත් ඒවා මිත්‍යා විශ්වාසයන් බව බුද්ධිමතෙකුට විද්යානුකුල ගවේෂණයකින් නිගමනය කල හැකිය. එහෙත් නිවැරදි දේව පණිවිඩයක් එලෙස බැහැර කල නොහැකිය. ඊට හේතුව ඒවා සත්‍යය දේවල් බව පිළිගැනීමට තරම් විද්යානුකුල කරුණු අන්තර්ගත කොට ඇති නිසාය.
විද්‍යාවේ බොහෝ දේවල් පර්යේෂණ මත තීරණය වේ. එහෙත් ඇතැම් දේවල් විද්‍යාඥයින්ගේ මතයන් පමණි. උදාහරණ වශයෙන් ඩාවින්ගේ වාදය, මහා පිපිරුම් වාදය පෙන්වා දිය හැකිය. මේවා කිසිවක් විද්‍යානුකුලව ඔප්පු කල දේවල් නොවේ.
කෙසේ වෙතත් දෙවියන් පහළ කල පණිවිඩ සත්‍යය කරුණු බව සනාථ කිරීම සඳහා නබිවරුන් විසින් ප්‍රතිහාරයන් පා තිබේ. මේ අනුව ජේසු තුමා පියෙකු නොමැතිව උපත ලබා ඇත, තොටිල්ලේදී කතාකොට ඇත, මළවුන් නැගිටුවා ඇත, ලාදුරු රෝගීන්ට සුවය ලබා දී ඇත. එසේම මුසා නබිතුමා මුහුද දෙබෑකොට ඔහුගේ අනුගාමිකයින් සමග එය තරණය කොට ඇත. මේ ආකාරයටම මෙලොව පහල වූ සෑම නබිවරයෙකුම නොයෙකුත් ප්‍රාතිහාරයන් පෙන්වා තිබේ. ලෝකයට පහළ වූ අවසාන නබිවරයා වන මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාද නොයෙකුත් ප්‍රාතිහාරයන් පා තිබේ. එතුමාට පහළ වූ අල් කුරානය අද අප අතර ඇති ජීවමාන ප්‍රාතිහාරයකි. එහි ඇති අභියෝගයන් මෙතෙක් කිසිවෙකු විසින් ජය ගෙන නොමැත. එබැවින් අල් කුරානය තවමත් ප්‍රතිකාරයක් ලෙසම පවතී. එබැවින් එය විශ්වාස නොකරන අය විසින් එහි ඇති අභියෝග ජය ගත යුතුව තිබේ.
ආගමක් අවශ්‍යවන්නේ මිනිසාට නිවැරදි මාර්ගය දැන ගැනීමට සහ මෙලොව ජීවිතය සහ මරණයෙන් පසු ජීවිතය ජය ගැනීමට වේ. එබැවින් ආගමක් නොමැති විට සොරකම, කාමය වරදවා හැසිරීම, බේබදුකම වැරදි ක්‍රියාවන් ලෙස නිරපේක්ෂව කිව නොහැකිය. ඇයිද යත් කෙනෙකුට හොඳ දේ තවත් කෙනෙකුට නරකක් විය හැකි නිසාය.
ආගමක් අදහන අය මෙන්ම ආගමක් නොඅදහන අයත් යම් දවසක මරණයට පත්වනු ඇත. එහෙත් නැවත නැගිටවිමක් තිබුනේ නම් මොවුන් ඊට මුහුණ දෙන්නේ කෙසේද? එවිට ආගමක් ඇදහු අය ජය ගනු ඇත. එහෙත් අනිත් අයට කුමක් සිදු වනු ඇත්ද?

By Fasy Ajward.

B.Sc(Special)Hons.Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/