ඉස්ලාමයේ අන්තවාදය තිබේද?

07/05/2020

Is there extremism in Islam?)

October 23, 2019 

ඉස්ලාම් සැමවිටම මැද මාවතක් අනුගමනය කරන දහමකි. එබැවින් එහි අන්තවාදයට ඉඩක් නැත. එසේ තිබියදී යම්කිසිකෙනෙකුගේ ක්‍රියාකලාපය බලා ඉස්ලාම් දහම ගැන නිගමනය කළ නොහැකිය. ඉස්ලාම් දහම ගැන නිගමනයකට පැමිණිය යුත්තේ එම දහම නිවැරදිව හැදෑරීම තුලින්ම පමණි. ඒ අනුව ඉස්ලාම් දහම තුල අන්තවාදය තිබේද නැද්ද යන්න ප්‍රකාශ කිරීමට පෙර එම දහම ගැන මනා දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත් ඇතැම් අය ඔවුන්ගේ පටු පරමාර්ථයන් ඉටු කර ගැනීම සඳහා ඉස්ලාම් දහමට නොයෙකුත් අබුත චෝදනා නගති. එහෙත් ඒවායේ කිසිම සත්‍යතාවයක් නොමැත.
ඉස්ලාම් දහමින් මිනිසා දෙවියන්ට කළ යුතු යුතුකම් වලට අමතරව මිනිසාගෙන් සෙසු අයට සිදු විය යුතු යුතුකම් කොටස පැහැදිලි කොට තිබේ. ඒවා නිසියාකාරව ඉටු කරන තැනැත්තා නිවැරදි මාර්ගයේ ගමන් කරන මුස්ලිම්වරයෙකු වන්නේය. එහෙත් සීමාව ඉක්මවා දහම තුල සිටීමත් දහමින් තහනම් කොට ඇති වෙනත් කටයුතුවල නියලිමත් ඉස්ලාම් අනුමත කරන්නේ නැත. මේ පිළිබඳව සහාබිවරයෙක් නබිතුමාගෙන් අසන ලද ප්‍රශ්නයකට එතුමා ඉතා අලංකාරව පිළිතුරු ලබා දී ඇත. එම පැහැදිලි කිරීම අනුව පමණ ඉක්මවා දෙවියන්ට නැමදීම පවා කල හැකි වන්නේ නැත. ඒ අනුව මුස්ලිම්වරුන්ගේ සෑම ක්‍රියාවක්ම දහමින් පෙන්වා ඇති සීමාව තුල තිබිය යුතුය. ඒ අනුව මුස්ලිම්වරයෙක් දහමින් පෙන්වා දී ඇති පරිදි ජීවත්වීම අන්තවාදය ලෙස අර්ථ දැක්විය නොහැකිය. එසේ තිබියදී මුස්ලිම් නොවන අය මුස්ලිම්වරුන්ගේ සෑම ක්‍රියාවක්ම විවේචනය කිරීම බලවත් වරදකි.
සහිහ් මුස්ලිම් ග්‍රන්ථයේ මෙසේ සඳහන් වන්නේය. "අන්තවාදියා විනාශයට පත් වන්නේය" නබිතුමා එය තුන් වතාවක්ම පවසා ඇත. මින් පැහැදිලි වන්නේ අන්තවාදයට ඉස්ලාම් දහම තුල ඉඩක් නොමැති බවයි. ශ්‍රේෂ්ට විද්වතෙකු වන ඉමාම් නවවි තුමා ඉහත කී හදිසය විස්තර කරමින් පවසා ඇත්තේ අන්තවාදියා යනු 'අධික ලෙස උනන්දුවන අන්ද භක්තිකයා' යනුවෙන් ය. එවැනි අය ක්‍රියාවෙන් සහ වචනයෙන් සෑම සිමාවක්ම ඉක්මවා කටයුතු කරන්නෝ වෙති. මේ නිසා එවැනි අය කොපමණ පින් දහම් කලත් දෙවියන්ගෙන් ඈත් වීමට හේතුවක් වන්නේය. පහත දැක්වෙන කථා පුවතින් එය පැහැදිලි වන්නේය.
එක් කාන්තාවක් අධික ලෙස පින් දහම් කරමින් සිට ඇත. එහෙත් ඇය බළලෙකුට ඇවිදගෙන ගොස් කෑම සොයාගැනීමට තිබෙන ඉඩ අහුරා හිරකොට තැබීමෙන් ඌ මරණයට පත් වී ඇත. ඇය කල මෙම වරද නිසා ඇය කොපමණ පින් දහම් කලත් නරකාදියට යන බව නබිතුමා පවසා ඇත. තවත් අවස්ථාවකදී වෛශ්‍යාවක් තිපාසයේ සිටි සුනකයෙකුගේ තිපාසය සංසිඳුවීම සඳහා වතුර ලබා දීම නිසා ඇය ස්වර්ගයට යන බව නබිතුමා පවසා ඇත.
ඇතැම් අය මුස්ලිම් කාන්තාවන් ෆර්දාව ඇඳීම සහ මුස්ලිම් පිරිමින් රැවුල වැවීම දකින්නේ අන්තවාදය ලෙසය. ඔවුන් එසේ කරන්නේ ඉස්ලාම් දහම ගැන දැනුමක් නොමැති කම නිසා විය හැකිය. ඇත්ත වශයෙන්ම ඒවා ඉස්ලාම් දහමේ මුලික අවශ්‍යතාවයන් ය. එබැවින් ඒවා ඉටු නොකරන තැනැත්තා දහම නිවැරදිව පිලි පදින්නෙකු නොවන බව ඔවුන් තේරුම් ගත යුතුව තිබේ. කෙසේ වෙතත් සෑම සමාජයකම අන්තවාදීන් සිටින්නේය. ඒ අනුව මුස්ලිම් සමාජයේද අන්තවාදීන් සිටිය හැකිය. කෙසේ වෙතත් ඔවුන් කරන දේවල් ඉස්ලාම් දහම නොවේ. එම නිසා සමාජයේ වගකීම වන්නේ ඔවුන්ව නිවැරදි මගට ගැනීම් ය. මෙම වගකීම පැහැර හරිමින් සමත්ත මුස්ලිම් ජාතියටම දොස් කීම මුග්ධ කමකි.

By Fasy Ajward. 

B.Sc(Sp.Phy)Hons.J.Pura. Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/