ඉස්ලාමයේ වැදගත් ලක්ෂණ

07/05/2020

Salient features of Islam

September 28, 2019 

ඉස්ලාම් අනෙකුත් ආගම් මෙන්ම අල්ලාහ්ගෙන් පහළ වූ දහමකි. එහි විශේෂත්වය වන්නේ එම දහම තුල ඒක දේව විශ්වාසය ඉතා ප්‍රභල ලෙස ආරක්ෂාකොට තිබීමයි. ඉස්ලාම් දහම තුල පිළිම වන්දනයක් නැත. එම නිසා ඉස්ලාමිය දේවස්ථාන තුල අල්ලාහ්ගේ හෝ නබිවරුන්ගේ හෝ පිළිම නොමැත.
ඉස්ලාම් දහමේ ප්‍රධාන මුලාශ්‍රයන් අල්-කුරානය සහ අල්-හදිස් වේ. අල් කුරානය ලියැවී තිබෙන්නේ අල්ලාහ්ගේම වදන් වලිනි. මේ නිසා කුරානයට අනුවාද දෙක තුනක් නොමැත. අල් කුරානයේ විවරණය ලෙස සලකනු ලබන්නේ නබිතුමාගේ හදිස් ය. ඒවා ඉතා සුපරික්ෂාකාරීව ග්‍රන්ථාරුඪ කොට ඇත. මේ හේතුවෙන් ඉස්ලාම් දහමේ නිවැරදිතාවය ආරක්ෂා වී තිබේ.
අල් කුරානය නබිතුමා ජිවතුන් අතර සිටියදීම සම්පුර්ණ කරන ලද්දේය. එහෙත් නබිතුමා ජිවත්ව සිටියදී විවිධ ද්‍රව්‍ය මත ලියා තබා තිබුණු කුරානයේ කොටස් එක් ග්‍රන්ථයක් ලෙස සකස් කරනු ලැබුවේ ඉස්ලාමයේ පළමු කලීෆා වන අබුබකර් රලි තුමාගේ කාලයේදීය. ඉස්ලාමයේ තුන්වන කලීෆා තුමාගේ කාලයේදී එය නැවත පිටපත් කොට ඉස්ලාම් රාජ්‍යයේ නොයෙකුත් රටවල් වලට බෙදා හැර ඇත. මේ නිසා අල්-කුරානය අද වන තුරුත් කිසිම වෙනසකට ලක් නොවී ආරක්ෂා වී තිබේ.
වෙනත් ආගම්වල මෙන් නොව අල්-කුරානය දෙවියන්ගෙන් පහළ වූ පණිවිඩයක් බව සනාත කිරීම සඳහා අවශ්‍යකරන කරුණු කාරණා කුරානය තුලම ඇත. එම නිසා එය දේව පණිවිඩයක් බව නිසැකවම දැනගෙන පිළිපැදිය හැකිය. කුරානයේ ඇති විශේෂත්වයක් වන්නේ එය සම්පුර්නයෙන්ම කටපාඩම් කල හැකි වීමයි.අල් කුරානය එක් ජන කොට්ටාසයක් වෙනුවෙන් පමණක් පහළ වී නැත. එබැවින් එය මුළු මහත් මිනිස් වර්ගයාටම අයත් වේ. එසේම මුහම්මද් නබිතුමා එක් ජන කොට්ටාසයක් වෙනුවෙන් තෝරා එවන ලද දුතයෙක් නොවේ. ඔහු මුළුමහත් මිනිස් වර්ගයා වෙනුවෙන් පහළ වූ නබිවරයෙකි. මෙම කුර්ආන් වැකියෙන් එය සනාථ වන්නේය. "අපි ඔබව මිනිස්වර්ගයාට කරුණාව දැක්වීමට මිස යැව්වේ නැත" (කුරානය 17:107).
ඉස්ලාම් දහමට සුවිශේෂී කරුණු කිහිපයක් පහත දැක්වේ.

  • ඉස්ලාම් දහම වැළඳගත් සියළුදෙනාම සහෝදරයින් ලෙස සලකනු ලැබේ. ඒ අනුව එහි කුල බේද, වර්ණ බේද, ජාති බේද නොමැත.
  • ඉස්ලාමයේ උගන්වා ඇති නැමදුම් ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම ඉටු කල හැකිය. ලෝකයේ කොතැනකදීත් පංච කල සලාතය ඉටු කරන්නේ එකම දිශාවකට එකම භාෂාවෙන් ය.
  • ඇති-නැති පරතරය අවම කොට දුප්පතුන්ටත් ජිවත් වීමට අවස්තාවක් ලබා දීම සඳහා ඉස්ලාම් දහමින් සකාත් අනිවාර්ය කොට තිබේ. සකාත් යනු ධනවතුන් විසින් තම වත්කම් සඳහා වාර්ෂිකව දුප්පතුන් සඳහා දෙනු ලබන බද්දකි.
  • හජ් වන්දනයේදී ලොව පුරා වෙසෙන මුස්ලිම් බැතිමතුන් එකම ඇඳුමෙන් සැරසී එකම ක්‍රමයක් අනුගමනය කරමින් එකම කාලයක් තුලදී එකම අල්ලාහ් වෙනුවෙන් ඉටු කිරීම.
  • ඉස්ලාම් දහමින් මිනිස් ජිවිතයට ඉහලම වටිනාකම ලබා දී තිබීම. ඒ අනුව අහේතුකව එක් මිනිසෙක් ඝාතනය කිරීම ලෝවැසියන් සියලුම දෙනාම ඝාතනය කලාට සමානව සලකනු ලැබේ. එසේම එක මිනිස් ජිවිතයක් බේරාගැනීම මුළු මහත් මිනිස් සංහතියම බේරා ගැනීමට සමානව සලකනු ලැබේ.

කෙසේ වෙතත් ලොව ඇති ජන මාධ්‍යයන් හරහා ඉස්ලාම් දහම ගැන බොහෝ වැරදි තොරතුරු සමාජ ගත කොට ඇත. ඒ හැරුණු විට මුස්ලිම් නොවන ලේඛකයින් විසින් ඉස්ලාම් දහමේ ප්‍රතිරූපය වෙනස් කිරීමට විශාල තැතත් ගෙන තිබේ. ඒ සෑම උත්සාහයක්ම ගෙන තිබියදීත් ඉස්ලාම් දහම ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන දහම බවට පත්ව තිබීම විශේෂත්වයකි.

By Fasy Ajward.

B.Sc(special)Hons,Ex: Research officer at former Scientific and Industrial Research Institute.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/