ඉස්ලාමය සහ වෙනත් ආගම්

07/05/2020

Islam and other religions)

November 23, 2019 

ඉස්ලාම්, විශ්වයේ මැවුම්කරු කේන්ද්‍රකරගත් ඒක දේවවාදී දහමකි. එහෙත් ඉස්ලාම් නොවන ආගම්වල මෙම තත්වය දැකිය නොහැකිය. තවද ඉස්ලාමයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එය දෙවියන්ගෙන් පහළ වූ ආකාරයටම ආරක්ෂා කොට තිබීමයි. එම හේතුවෙන් එහි මිනිසාගේ ඇඟිලි ගැසීම් දැකිය නොහැකිය.
ඉස්ලාම් ආගම ආදම් නබි තුමාට පහළ වූ අනපනත් වලින් ආරම්භ වී මුහම්මද් නබිතුමාට පහළ වූ අල් කුරානය මගින් අවසාන වන්නේය. ඒ අනුව අල් කුරානයට පෙර පහළ වූ සෑම ආගමකම මුහම්මද් නබි තුමාගේ පැමිණීම ගැන සඳහන් වී ඇත. තවද අල් කුරානය පහළ වීමත් සමග ඉස්ලාම් දහම පුර්ණත්වයට පැමිණ තිබේ. එම නිසා අල් කුරානයෙන් පසු තවත් ආගම පුස්තක මෙලොවට පහළ වන්නේ නැත.
ලොව ඇති සෑම ප්‍රධාන ආගමක්ම අල්ලාහ්ගෙන් පහළ වූ ඒවාය. එහෙත් අල් කුරානය හැර අනෙක් දහම් පුස්තක මිනිසා විසින් වෙනස් කොට තිබේ. සමහර ආගම්වල කොටස් අතුරුදහන් වී ඇත. මේ නිසා ඒවායේ සම්පුර්න පණිවිඩය දැක ගැනීමට නොහැකි වී ඇත. තවද ඒවායින් බොහොමයක්ම ඇත්තේ වෙනත් භාෂාවෙන්ට සිදුකල පරිවර්තනයන්ය. මේ නිසා ඒවායේ පරිවර්තන දෝෂයන් ඇතුලත් වීම වැළැක්විය නොහැකි කරුනකි.
අල් කුරානය දේව පණිවිඩයක් බව සනාථ කිරීම සඳහා අවශ්‍යකරන හේතු සාදක එය තුලම අන්තර්ගත කොට තිබීම එහි ඇති විශේෂත්වයකි. බොහෝ ආගම්වල එවැනි ක්‍රමයක් දැකිය නොහැකිය. මේ නිසා ඕනෑම කෙනෙකුට අල් කුරානය ගවේෂණය කිරීමෙන් එහි සත්‍යතාවය පිරික්සිය හැකිය. අල් කුරානය ගවේෂණය කිරීම සඳහා පහත සඳහන් වැකියෙන් ආරාධනා කොට තිබේ.
"ඔවුන් මෙම කුර්රානය පර්යේෂණය කර බැලිය යුතු නොවේද? නැතහොත් (ඔවුන්ගේ) හෘදයන් කෙරෙහි අගුලු දමා ඇත්තේද? ඇත්තෙන්ම කව්රුන් හට ඍජු මාර්‍ගය මෙය යැයි පැහැදිලි වූවායින් පසුව ඔවුන් ආපස්සට හැරී ගියෝද ඔවුන්ගේ වැරදි අදහස් සාතාන් විසින් පුළුල් කොට ඔවුන් හට ඒවා අලංකාරවත් කළේය. මන්ද යත් ඇත්තෙන්ම ඔවුන් අල්ලාහ් පහළ කල (මෙම පුස්තකය) පිළිකුල් කර "අපි සමහර කාරනාවන්හි ඔබවම අනුගමනය කරමු"යි පවසන නිසාය. ඔවුන්ගේ එම රහස් අල්ලාහ් හොඳින් දන්නේය" (කුරානය 47: 24-26).
ඉහත සඳහන් කුර්ආන් වැකිය නිසා ඕනෑම කෙනෙකුට ඉස්ලාම් දහම වැළඳ ගැනීමට පෙර ඒ ගැන ගවේෂණයේ යෙදීමට පුර්ණ අයිතිය ලැබෙන්නේය. ඉන් ප්‍රයෝජන ගැනීම මිනිසාගේ වගකීමකි. තවද අල් කුරානය පහළ වී ඇත්තේ එක් ජන කොට්ටාසයකට නොවීම එහි ඇති තවත් විශේෂත්වයකි.
ඉස්ලාම් දහමින් මිනිස් වර්ගයාට නිවැරදි මාර්ගය පෙන්වා දෙන්නේය. එහෙත් එම දහමේ බල කිරීමක් නොමැත. එම නිසා ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස තිබේ. එහෙත් ඔහු ගන්නා තීරණය ගැන ඔහු වග කීම දැරිය යුතුය.
පදනම් විරහිතව ඉස්ලාම් දහම විවේචනය කරන අයගේ හෘදයන්හි අල්ලාහ් මුද්‍රා තබන බව පහත දැක්වෙන කුර්ආන් පාඨයේ සඳහන් වේ. "තමන් වෙත පැවරුණු බලයක් නොමැතිව අල්ලාහ්ගේ කිසිම ආයාවක් ගැන තර්ක කිරීම; අල්ලාහ් වෙතද විස්වාස කල අය වෙතද ඉතාමත් පිළිකුල් සහගතය. එබැවින් ආඩම්බරය හා උඩඟුකම ඇති සෑම කෙනෙකුගේම හෘදයන්හි අල්ලාහ් මුද්‍රා තබන්නේය" (කුරානය 40:35). මෙවැනි අයට කුරානයේ මග පෙන්වීම වැළකී යන්නේය. එය ඔවුන් ලබන විශාල පාඩුවකි. ඔවුන් එය තේරුම් ගන්නේ මරණයෙන් පසුව නම් තවත් පාඩුවකි.
By Fasy Ajward.

B.Sc(Special)Hons.Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.