ඉස්ලාම් දහමින් දුම්පානය තහනම් කරන්නේ ඇයි?

07/05/2020

Why does Islam prohibit smoking?

September 10, 2019 

මනුෂ්‍ය ජිවිතයට හානිකර සියලුම දේවල් ඉස්ලාම් දහමින් තහනම් කොට ඇත. එහෙත් දුම්වැටි සම්බන්දයෙන් අල් කුරානයේ ඍජුවම කිසිවක් ප්‍රකාශ කරන්නේ නැත. කෙසේ වෙතත් කුරානයේ ඇති වෙනත් වැකිවල ආදරයෙන් ද නබිතුමාගේ උපදෙස් අනුව ද දුම්පානය තහනම් බව ඉස්ලාමිය විද්වතුන් විසින් ඒකමතිකව තීරණය කොට ඇත. තවද දුම්පානය ශරීර සෞඛ්‍යට අහිතකර බව වෛද්‍ය්යවරු පවසා ඇත. අල් කුරානයේ ඇති මෙම වැකිය අනුවද ඉන් වැලකී සිටීම අනිවාර්ය වේ. "....අනුභව කරන්න, පානය කරන්න එහෙත් නාස්ති නොකරන්න. නියත වශයෙන්ම ඔහු නාස්ති කරන්නන්ව ප්‍රිය නොකරන්නේය" (කුරානය 7:31). මෙම වැකිය අනුව කිසිම ප්‍රතිලාබයක් ගෙන නොදෙන දෙයක් කිරීමෙන් වැළකී සිටිය යුතු වන්නේය.
දුම් පානය කිරීමෙන් ඇති වන මුලික ලක්ෂණ වන්නේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හුස්ම හිරවීම සහ ඇදුම යනාදියයි. මෙම ලක්ෂණ එහි ආරම්භය පමණි. දුම් පානය දිගටම සිදු කිරීමෙන් නියුමෝනියාව, එම්පිසීමාව සහ පෙනහළු පිළිකා වැනි මාරාන්තික රෝග ඇති විය හැකි බව වෛද්‍යවරුන්ගේ මතය වේ. පෙනහළු පිළිකාවෙන් සිදුවන මරණ වලින් 84% ක් සිදුවන්නේ දුම්පානය නිසා ය. ඊට ප්‍රධාන හේතුව දුම්වැටිවල මිනිස් සිරුරට අහිතකර රසායන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අඩංගු වීමය. ඒවායින් බොහොමයක්ම පිළිකා කාරකයන් ය. ළය පිළිකාවලින් මිය යන පිරිමින්ගෙන් 87% ද කාන්තා මරණවලින් 70% ද දුම් පානය කිරීම නිසා සිදු වන බව ඇමරිකාවේ සිදුකල පර්යේෂණවලින් නිගමනය කොට තිබේ. තවද දුම් පානය කිරීම නිසා ඇතිවන ළය පිළිකාව සුවකිරීම අපහසු බව වෛද්‍යවරුන්ගේ මතය වේ. දුම් බිමෙන් මධ්‍යම ස්නායු පද්ධතියට බොහෝ බලපෑම් ඇති කරන්නේය. ඊට ප්‍රධාන හේතුව දුම්කොළවල අඩංගු නිකටින් වේ. නිකටින් මානසික වෙනස්කම් ඇතිකරන ඖෂධයකි. එය ඉතා කෙටි කාලයකදී මොලය වෙත ළඟා වී එහි ක්‍රියාකාරීත්වය වැඩි කරන්නේය. ඉන් පසු එහි බලපෑම ක්‍රමක් ක්‍රමයෙන් හීන වීමේදී එය භාවිතා කළ පුද්ගලයා මහන්සියට පත් වන්නේය. මේ නිසා එම තැනැත්තා තව තවත් දුම් බිමට යොමු වන අතර එය පුරුද්දක් බවට පත් වන්නේය. එවිට එම පුද්ගලයාට දුම්පානය කිරීම අත්හැරීම දුෂ්කර කාර්‍යයක් බවට පත් විය හැකිය.
නිකොටින් වලට ඇබ්බැහි වීමෙන් පසු එය නතර කිරීමේදී කනස්සල්ලට, කෝපයට හා කලකිරීමට පත් වන බව විද්‍යාඥයින් සොයාගෙන ඇත. තවද එමගින් හිසරදය සහ නින්ද යාමේ ගැටළු ඇති වන්නේය. මේ නිසා හැකි පමණින් ඊට පුරුදු නොවී සිටීම වැදගත් ය.
දුම්පානය නිසා ලය පිළිකාව පමණක් නොව හෘදය පිලිබඳ රෝග, ස්වාස නාලිකා ප්‍රදාහය (bronchitis), ආඝාතය (stroke) වැනි අතුරු සෞඛ්‍ය ගැටළු ඇති වන්නේය. කාන්තාවන්ගේ ගැබ් ගැනීම් වලට සහ පිළිසිඳගත් ළමුන්ගේ සෞඛ්‍යයට දුම්පානය කිරීමෙන් බොහෝ බලපෑම් එල්ල විය හැකිය. බරින් අඩු ළමයින්ගේ බිහිවීමට එය ප්‍රධාන හේතුවක් වන්නේය. කාන්තාවක් දුම්පානය නොකලත් ස්වාමි පුරුෂයා දුම් පානය කරන්නේ නම් එයින් කාන්තාවන්ට යම් තරමක බලපෑමක් ඇති කරන බව සත්‍යයකි.
දුම් පානය කිරීම නිසා නියුමොනියාව සහ ඇඳුම වැනි රෝග උග්‍ර විය හැකිය. මේ හැරුණු විට මුකයේ විදුරුමස පිලිබඳ ආසාදන, ඇසෙ සුද, අස්ථි තුනී වීම, උකුළු ඇටයේ බිඳීම, ඔඩු සහිත වනයන් ඇතිවිම වැනි දේ සිදු විය හැකිය. වසර 1990 දී Centers for Disease Control and Prevention (CDC) කල පරියෙශනයකට අනුව දුම් පානය කරන්නන්ගේ ආයු කාලය පිරිමින්ගේ වසර 13.2 කින් සහ කාන්තාවන්ගේ එය වසර 14.5 කින්ද අඩුවන බව සොයාගෙන තිබේ.
කරුණු එසේ තිබියදී සෑම මුස්ලිම්වරයෙකුම විනිශ්චය දිනයේදී දෙවියන් ඉදිරියේ තමන් ගත කල ජීවිතය ගැන වගකිව යුතු වන්නේය. ඒ අනුව කෙනෙක් හම්බ කල ආකාරය සහ එය වියදම් කල අකාරය ගැනත් පිළිතුරු දීමට සිදු වන්නේය. ඒ අනුව මිනිස් සිරුරට හානිකර දුම්වැටි සඳහා වියදම් කල මුදල් වෙනුවෙන් කුමක් පැවසීමට යන්නේදැයි දැන්ම සිතා බැලිය යුතුය.
By Fasy Ajward.

B.Sc (Phy.Sp) Hons. Japura.Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/