ඉස්ලාම් දහම තුල දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ වගකීම්

07/05/2020

Parents' responsibilities for children in Islam)

January 14, 2020 

ඉස්ලාම් දහම දරුවන්ගේ වගකීම ඉතා බැරෑරුම් කරුණක් ලෙස පෙන්වා දෙන්නේය. මෙම කුර්ආන් වැකිය දෙස බැලීමේදී එය පැහැදිලි වේ. "විශ්වාස කලවුනි! නුඹලාවද නුඹලාගේ පවුලේ උදවියද නිරයෙන් බේරා ගනු" (කුරානය 66:6). ඉන් අදහස් කරන්නේ පවුලේ උදවියට ආගමානු කූල මග පෙන්වීමක් සිදු කල යුතු බවයි. එසේ තිබියදීත් බොහෝ දෙමව්පියගේ අරමුණ වී තිබෙන්නේ තම දුවා දරුවන්ට ලෞකික අධ්‍යාපනය වැඩියෙන් ලබා දීම ය. එහි ප්‍රතිපලය වන්නේ ඔවුන් දහමින් ඈත් වීමයි. එම නිසා ලෞකික අධාපනයට සමගාමිව ආගමික දැනුම ලබා දීමට සෑම මුස්ලිම් දෙමව්පියෙක්ම කට යුතු කල යුතුය. ආගමික අධ්‍යාපනය යනු කුරානය අරාබි බසින් කියවීම පමණක් නොවේ. ඒ අනුව අල්ලාහ් පිළිබඳව සහ දහමේ නීති රීති හරියාකාරව කියා දීමට කටයුතු කල යුතු වන්නේය. එය පාසලේදී සිදු නොවේ නම් සුදුසුකම් ඇති පෞද්ගලික ගුරුවරයෙකුගේ මාර්ගයෙන් වත් සිදු කිරීමට වග බලා ගත යුතය. ඊට අමතරව ඔවුන්ට තේරෙන භාෂාවෙන් ඇති දේශනා වලට සවන් දීම සඳහා ක්‍රමයක් සකස් කිරීම වඩාත් ප්‍රයෝජනවත් වන්නේය.
දරුවන් හදා වඩා ගැනීමේ දී ප්‍රධාන වගකීම දැරිය යුතු වන්නේ මවක් විසින්ය. එබැවින් ඒ ගැන නිසි අවධානය යොමු කල යුතු වන්නේ විවාහ වන අවස්ථාවේදී ය. මේ හේතුවෙන් දහමට ලැදි කාන්තාවක් විවාහ කර ගැනීමෙන් එම කටයුත්ත පහසු කර ගත හැකි වන්නේය. මේ සම්බන්දයෙන් නබිතුමාද උපදෙස් ලබා දී තිබේ.
ලුක්මාන් තුමා සිය පුතුන්ට දුන් උපදෙස කුරානයේ මෙලෙස සඳහන් කොට ඇත. "මාගේ දයාබර පුතුනි! අල්ලාහ්ට නැමදීමේදී කිසිවක් එකතු නොකරන්න! නියතවශයෙන්ම අල්ලාහ්ට නැමදීමේදී කිසිවක් එකතු කිරීම උග්‍ර පාපයක් වන්නේය" (කුරානය 31:13). එහෙත් අපගෙන් කී දෙනෙක් තම දරුවන්ට ශිර්ක් සම්බන්දයෙන් උපදෙස් ලබා දී තිබේද? කෙසේ වෙතත් එය කෙනෙකුව නිරයට ගෙන යා හැකි පවක් බව හොඳින් තේරුම් ගන්නේ නම් ළමුන්ට පාසල් අවදියේ පටන් ශිර්ක් සම්බන්දයෙන් දැනුම ලබා දීමට කටයුතු කරනු ඇත.
නුතන සමාජය තුල බොහෝ දෙමව්පියන්ගේ වැඩි අවධානය යොමුව තිබෙන්නේ දරුවන්ගේ ලෞකික අධ්‍යාපනය කෙරෙහි පමණි. මේ නිසා බොහෝ දරුවන්ට ආගම ගැන ඇත්තේ ඉතා අල්ප දැනුමකි. එහි ප්‍රතිපලයක් ලෙස බොහෝ දුවා දරුවන්ට ඉස්ලාම් පෙන්වා දෙන නිවැරදි මාර්ගය කුමක්දැයි දන්නේ නැත. මේ නිසා බොහෝ අය දහම ලෙස සලකන්නේ නබිතුමා පෙන්වා නොදුන් අලුතින් දහමට එකතු කරන ලද දේවල් ය. එහෙත් දහමට අලුතින් එකතුකරන ලද සියළුම දේවල් නිරයට මාර්ගය බව නබිතුමා පවසා ඇත. මේ නිසා දෙමව්පියන් වශයෙන් නිවැරදි දහම් දැනුම ළමුන්ට ලබා දීමට කටයුතු කිරීම ඉතා වැදගත් කරුණකි.
සෑම මුස්ලිම් නිවසක්ම දරුවන්ට ආදර්ශවත් කේන්ද්‍රස්ථානයක් විය යුතුය. ඒ අනුව දරුවන් ඉදිරියේ දෙමව්පියන්ගේ හැසිරීම ඉතා වැදගත් කොට සැලකිය යුතුය. උදාහරණයක් වශයෙන් මවකගේ ඇඳුම් විලාශය බොහෝ දුරට දියණියන්ට ආදර්ශයකි. එසේම පියාගේ ක්‍රියාකාරකම පිරිමි දරුවන්ට ආදර්ශයකි. එම නිසා ඔවුන් දහම අනුව ජිවත් වීම කෙරෙහි අවදානය යොමු කල යුතු වන්නේය. ඒ අනුව පියවරුන් තම පිරිමි දරුවන් ළඟ තබාගෙන දුම් පානය කිරීම හෝ ඔවුන් ලවා දුම්වැටි ගෙන්වා ගැනීම කිසිසේත්ම නොකළ යුතු ය. මව්වරුන්ද තම ගැහැණු ළමයි ඉදිරියේ ඔවුන්ගේ ඇඳුම් විලාසය දහමේ සීමාවන් තුල තබා ගත යුතුය.
අනෙක් අතට දෙමව්පියන් දහමින් අනිවාර්ය කොට ඇති සලාතය සහ උපවාසය නිසි පරිදි ඉටු කිරීමෙන් තම දුවා දරුවන්ට ආදර්ශමත් විය යුතුය. එසේම සෑම විටම පියවරුන් විසින් තම පුතුන්ව මස්ජිදය වෙත රැගෙන ගොස් සලාතය ඉටු කිරීමට වග බලා ගත යුතුය. එසේ නොකළහොත් සිදු වන්නේ ඔවුන් තම යහළු මිත්‍රයන් සමග කාලය ගත කිරීමෙන් සලාතය මඟ හැරීමයි.
බොහෝ නිවෙස් වල දහමට නිසි තැන නොදී ම නිසා ඇතැම් දරුවන් මත්කුඩු වලට ඇබ්බැහි වී ඇත. දරුවෙක් එම අවස්ථාවට පත්වන තුරු බලා හිඳ දුක් වීමෙන් කිසිම පලක් නැත. ඉන් පසු ඔවුන්ව නිසි මගට යොමු කිරීම ඉතා අසීරු කාර්යක් වනවාට කිසිම සැකයක් නැත. මේ නිසා නිසි කලට වෙලාවට ළමුන් වෙනුවෙන් දහම් දැනුම ලබා දීම ඉතා වැදගත් කොට සැලකිය යුතුය. නීති රීති පැනවීමෙන් කල නොහැකි බොහෝ දේවල් දෙවියන් කෙරෙහි බිය බැතිකම ඇති කිරීමෙන් ඉටු ක‍ර ගත හැකි වන්නේය.

By Fasy Ajward. B.Sc (Sp.Phy) Hons. Japura,Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/