ඉස්ලාම් භීතිකාව

07/05/2020

Islamophobia

December 25, 2019 

නවීන ලෝකයේ ඉස්ලාම් භීතිකාවක් පැන නැගී ඇති බැවින් ඉස්ලාම් දහම ගැන සොයා බැලීම වැදගත් විය හැකිය. ඉස්ලාම් යනු මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා අල්ලාහ්ගෙන් පහළ කරන ලද දහමකි. එය ලොව පහළ වූ මුල්ම සහ අවසාන දහම් පණිවිඩය වේ. අල් කුරානය මගින් ඉස්ලාම් දහම සම්පුර්ණ විය. අල් කුරානය පහළ වීමෙන් පසු ඉස්ලාම් දහම අනෙක් ආගම්වලට වඩා වේගයෙන් ලොව පුරා පැතිර ගියේය. එම දහම එදා පැවති අනෙක් ආගම් මෙන් විද්‍යාත්මක ගවේෂණයන්ට විරුද්ධ වුයේ නැත. එහි ප්‍රතිපලයක් ලෙස අඳුරේ ගිලී තිබුණු යුරෝපය විද්‍යාත්මක සොයා ගැනීම් අතින් විශාල පිබිදීමක් ලැබුවේය. එම පිබිදීමට මුස්ලිම්වරුන්ගෙන් විශාල දායකත්වයක් ලැබුනේය. ඒ හැරුණු විට ඉස්ලාම් දහම නිසා දේපල අයිතියට හිමිකම් නොතිබුණු කාන්තාවන්ට එම අයිතිය ලබා දෙන ලදී. තවද විවාහ වීමේදී කාන්තාවන්ට ගෙවීමට සිදුවුණු දෑවැද්ද වෙනුවට කාන්තාවන් වෙනුවෙන් ගෙවීමක් කිරීමට පිරිමින්ට නියම කරන ලදී. මේ හැරුණු විට ඉස්ලාම් දහම පැමිණීමෙන් පසු ලොව පුරා විශාල සංස්කෘතික වෙනසක් ඇති විය. එසේ තිබියදී මෑත යුගයේ ඉස්ලාම් භීතිකාවක් හිස ඔසවා තිබේ. එය උවමනාවෙන්ම නිර්මාණය කරන ලද්දක් වන්නේය.
කව්රු කෙසේ කීවත් ඉස්ලාම් දහමින් පෙන්වා දෙන්නේ ජාතින් අතර සහයෝගයෙන් ජිවත් වීමට සුදුසු ක්‍රමයකි. එම නිසා අසල්වැසියා කුමන ජාතිකයෙක් වුවත් ඔවුන් සමග හොඳින් ජිවත් විය යුතු බව ඉස්ලාම් දහම උගන්වන්නේය. අසල් වැසියාට පිඩා කරන තැනැත්තා මුස්ලිම්වරයෙකු නොවන බව නබිතුමා පවසා ඇත. එසේ තිබියදී ඉස්ලාම් භීතිකාවක් හිස ඔසවන්නේ කෙසේද?
ඉස්ලාමිය මුලාශ්‍රවල ඉස්ලාම් භීතිකාවට හේතුවන කිසිම දෙයක් සොයා ගැනීමට නොහැකිය. එසේ තිබියදී ඇතැම් අය ඉස්ලාමයේ ව්‍යාප්තිය, ඉස්ලාම් භීතිකාවට හේතුවක් ලෙස පෙන්වා දීමට උත්සාහ කරන්නේය. ඇත්ත වශයෙන්ම එය ඉතා කනගාටු දායක තත්වයකි. ඉස්ලාමයේ බල කිරීමක් නොමැත. කැමති කෙනෙකුට පමණක් ඉස්ලාමය වැළඳ ගත හැකිය. අනෙක් අයට තමන් කැමති දහමක් පිළිපැදිය හැකිය. එසේ තිබියදී ඇතැම් උගතුන් යැයි කියාගන්නා අය පවා ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත වූ බව කියමින් ඉස්ලාම් භීතිකාවක් මැවීමට උත්සාහ කරන්නේය. එමගින් ඔවුන් පෙන්වන්නේ ඉස්ලාම් දහම පිලිබඳ ඔව්න්ගේ බංකලොත් භාවයයි. එදා මෙන්ම අදත් වේගයෙන්ම ව්‍යාප්ත වන දහම ඉස්ලාම් ය. එයින්ම ඔවුන් පවසන කඩුවෙන් ඉස්ලාම් දහම ව්‍යාප්ත වුවා කියන චෝදනාව බොරුවක් බවට පත් වන්නේය.
ඕනෑම සමාජයක වැරදි කරන අය සිටිති. එසේම මුස්ලිම් සමාජයේ ද වැරදි කරන අය සිටිති. තවද සෑම සමාජයකම ත්‍රස්තවාදීන් සිටිති. එසේම මුස්ලිම් සමාජයේද ත්‍රස්තවාදීන් සිටිති. එහෙහ් ඔවුන් කරන දේවල් ඉස්ලාම් නොවේ. එම නිසා ඔවුන්ගේ ක්‍රියාවන් ඉස්ලාම්භීතිකාවට හේතුවක් කර ගත යුතු නැත.
ඇතැම් අය මුස්ලිම්වරුන්ගේ ඇඳුම් සහ වෙනත් ආගමික දේවල් දෙස බලා ඉස්ලාම් භීතිකාවක් ඇති කිරීමට උත්සාහ කරන්නේය. මෙය ඉතාමත් කනගාටු දායක තත්වයකි. ඇත්ත වශයෙන්ම ඉස්ලාම් අංග සම්පුර්ණ දහමක් බැවින් එමගින් මුස්ලිම්වරයෙකුගේ සෑම ක්‍රියාවක්ම ආවරණය කරන්නේය.ඒවා නොකරන අය දහමින් බැහැර වන්නේය. එසේ තිබියදී කෙනෙකුගේ ඇඳුම පැළඳුම් නිසා හෝ කෑම බිම නිසා හෝ භීතියක් මවා පෑම කිසිසේත්ම අනුමත කල නොහැකිය.
ඉස්ලාම් භීතිකාව තුරන් කිරීම සඳහා ජන මාධ්‍යවලට විශාල කාර්‍ය භාරයක් කල හැකි වුවත් ඒවා හැසිරෙන්නේ ඉතා ලජ්ජා සහගත ආකාරයට ය. ඒවායින් බොහෝ විට සිදු කරන්නේ සුළු සිද්ධීන් පවා ජාතින් අතර සැකය සහ වෛරය ඇතිවන ආකාරයට ය. එය ජාතික සමගියට මෙන්ම රටේ දියුණුවට විශාල බාදාවකි.

By Fasy Ajward. B.Sc(Special)Hons.Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.