අල් කුර්ආනය විද්‍යාවට අභියෝග කරන්නේ කෙසේද?

07/05/2020

How does the Qur'an challenge science?

 January 17, 2020

විශ්වය ගැන හොඳින් දැනගනිමට විද්‍යාව උපකාරී වන්නේය. කෙසේ වෙතත් මිනිසාගේ දැනුම සිමා සහිත බැවින් එය කල හැක්කේ යම් සීමාවකට පමණි. එසේ තිබියදී විශ්වයේ මැවුම්කරු දෙවියන් වන බැවින් විද්‍යාවෙන් සොයා ගත නොහැකි බොහෝ දේවල් කුරානයෙන් විස්තර කරන්නේය. මේ සඳහා අල් කුරානයේ වැකි දහසක් පමණ වෙන් කොට ඇත. ඒවායින් බොහොමයක් විද්‍යාඥයින් සොයාගනු ලැබුවේ කුරානය පහළ වී සියවස් 14 ක් පමණ ගෙවී ගිය පසුවය. උදාහරණයන් වශයෙන් විශ්වයේ ප්‍රසාරණය, අහස සහ පොලව එකම ප්‍රබවයකින් හට ගන්නා බව, සුර්යයා සහ අනෙක් ග්‍රහ වස්තුන් ඊට නියමිත මාර්ගවල ගමන් කරන බව, කාලයේ විස්තාරණය, කලලයේ විකසනය, පොලවේ ස්ථායිතාවයට කඳුවලින් සිදු වන මෙහෙය යනාදිය පෙන්වා දිය හැකිය. මෙවැනි දේවල් කුරානය මගින් ඍජුවම ඉදිරිපත් කරද්දී විද්‍යාඥයින් ඒවා සොයාගනු ලැබ ඇත්තේ බොහෝ කාලයක් තිස්සේ කරන ලද පර්යේෂණ වලින් පසුවය. මේ අනුව පෙනී යන්නේ අල් කුරාණය විද්‍යාවට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බවයි. එසේ තිබියදී විද්‍යාඥයින්ට මේ දක්වා විශ්වයේ බිහිවීම ගැන හෝ එහි අවසානය ගැන නිවැරදිව යමක් ප්‍රකාශ කිරීමට හැකිවී නොමැත. ඒවා විස්තර කොට ඇත්තේ දහම හරහාය.
අල් කුරානයට අනුව මිනිසාව මවා ඇත්තේ අල්ලාහ්ගේ මිහිපිට නියෝජිතයා ලෙසය. මිහිපිට ඇති ජීවින් සමග සැසඳීමේදී එය ඉතා හොඳින් පැහැදිලි වන්නේය. විශේෂයෙන්ම මිනිසාට ලැබී ඇති බුද්ධිය සහ ශරීර ලක්ෂණයන් මිට හේතුවක් ලෙස සැලකිය හැකිය. මින් පෙනී යන්නේ මිහිපිට සිටින ජීවින් අතරින් මිනිසාව විශේෂ හේතුවක් නිසා මවා ඇති බවයි. මෙම කරුණ මිනිසාට ආගමක් ඇදහීමටත් දෙවියන්ව විශ්වාස කිරීමටත් ප්‍රමාණවත් ය. එසේ තිබියදී මිනිසා අනෙක් ජීවින් මෙන් කෑමටත් වර්ගයා බෝ කිරීමටත් පමණක් ජිවත් වන්නේ නම් එය මිනිස් කමට කරන බලවත් නිගාවකි.
මිනිස් ජිවිතයේ අරමුණ දෙවියන් පහළ කල සෑම ආගම් පුස්තකයකින්ම පැහැදිලි කොට ඇත. ඒ හැර වෙනත් කිසිම ක්‍රමයකින් මිනිස් ජිවිතයේ අරමුණ දැනගත හැකි වන්නේ නැත. එසේ තිබියදී විද්‍යාවේ දියුණුවත් සමග මිනිසාට ආගමත් සමග ඇති විශ්වාසය අඩු වෙමින් පවතී. ඊට එක් හේතුවක් වශයෙන් පෙන්වා දිය හැක්කේ ඇතැම් විද්‍යාඥයින් දෙවියන්ව විශ්වාස නොකිරීමයි. කෙසේ වෙතත් සෑම විද්‍යාඥයෙකුම අදේවවාදීන් නොවේ. උදාහරණයක් වශයෙන් අයිසැක් නිව්ටන් වැනි විද්‍යාඥයින් දෙවියන්ව විශ්වාස කොට ඇත. එපමණක් නොව අදටත් විද්‍යාඥයින්ගෙන් සැලකිය යුතු පිරිසක් ආගමක් අදහති. තවත් පිරිසකට ඒ පිළිබඳව පැහැදිලි දැක්මක් නොමැතිව ජිවත් වෙති. කෙසේ වෙතත් විද්‍යාඥයින්ට දහම ගැන විශ්වාසයක් නොමැති වීම තවත් කෙනෙකුට දහමින් ඈත්වීමට හේතුවක් නොවේ.
මිනිසාගේ දැනුම සිමා සහිතය. එබැවින් ඔහුට ගවේශනය කල හැක්කේ එම සීමාව තුල පමණි. ඒ අනුව විද්‍යාඥයින්ට ආත්මය ගැන හෝ මරණයෙන් පසු සිදුවන දේවල් ගැන හැදෑරීමට නොහැකිය. එම නොහැකියාව දහමින් බැහැර වීමට හේතුවක් කරගත යුතු නැත. කෙසේ වෙතත් මිනිසා දහමින් ඉවත්වීම ඔහු ලබන විශාල පාඩුවක් වනවාට කිසිම සැකයක් නැත. එය දැනගත හැක්කේ මෙලොව ජීවිතය අවසාන වීමෙන් පසුව නම් එය තවත් පාඩුවකි. එවිට මිනිසාට කල හැකි දෙයක් ඉතිරි වන්නේ නැත.
විද්‍යාව මෑත ඉතිහාසය තුල සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇතත් විශ්වය හා ජිවය සම්බන්ද බොහෝ දේවල් ඉන් සොයාගෙන නැත. ඇත්ත වශයෙන්ම ඒවා නිවැරදිව විස්තර කොට ඇත්තේ දෙවියන් පහළ කරන ලද දහම තුලය. කෙසේ වෙතත් අවශ්‍යතාවය තිබෙන කෙනෙකුට දෙවියන්ව විශ්වාස කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි විශ්වය පුරාම ඇත. එහෙත් ඇතැමුන් ඒවා දැකිය යුතු අන්දමින් දකින්නේ නැත. තවත් සමහරු ඒවා දැක්කත් පිළිගැනීමට සුදානම් නැත. එය මෙලෙස තේරුම් කල හැකිය. දෑස පියාගෙන සිටින කෙනෙකුට සුර්යයා කොතරම් දීප්තිමත් උනත් එය දැකිය නොහැකිවා සේම දෙවියන්ව තේරුම් ගැනීමට උවමනාවක් නොමැති කෙනෙකුට ටොන් ගණනින් හේතු දැක්වුවත් ඉන් ප්‍රයෝජනයක් අත් වන්නේ නැත. එසේ තිබියදී නොදකින දෙවියන්ව විශ්වාස කල නොහැකි යැයි කෙනෙක් පවසන්නේ නම් එය ඔහුගේ මුග්ධ කමකි. ඇත්තෙන්ම තිරිසන් සතුන්ට එවැනි නිගමනයකට පැමිණිය හැකිය. එහෙත් මිනිසාට ලැබී ඇති දැනුම නිසා එසේ කල නොහැකිය. ඒ අනුව මිනිසා එවැනි නිගමනයකට පැමිණීමෙන් සිදු වන්නේ මිනිසා ඔහුව තිරිසනාගේ තත්වයට පත්කර ගැනීමකි.
මිනිසාට ජිවිතයේ අරමුණ නිවැරදිව දැනගැනීමට නම් දෙවියන් පහළ කරන ලද දහමක් හැදෑරිය යුතුය. ඒ තුලින් දෙවියන් පිලිබඳ නිවැරදි විශ්වාසය ගොඩ නගා ගත හැකි වනු ඇත. කෙසේ වෙතත් දෙවියන් පිලිබඳ විශ්වාසය නිරායාසයෙන් ලැබෙන්නේ නැත. ඒ සඳහා කටුක අත්දැකීම් වලට මුහුණ පෑමට සිදු වන්නේය. ඒ අනුව දහම දෙසීමට පැමිණි නබිවරුන් පවා බොහෝ පරීක්ෂාවන්ට මුහුණ දී තිබේ. එසේ නොමැතිව ආචාර්ය, මහාචාර්ය පදවි තිබීමෙන් පමණක් දෙවියන් පිලිබඳ ස්ථිර විශ්වාසය ගොඩ නගා ගැනීමට හැකි වන්නේ නැත.
දෙවියන් පිලිබඳ විශ්වාසය උත්සාහයෙන් අත්කර ගත යුතු දෙයක් වුවත් ලෞකික දේවල් ඕනෑම කෙනෙකුට දෙවියන් විසින් ප්‍රධානය කරන්නේය. මේ නිසා දෙවියන්ව විශ්වාස නොකරන බොහෝ අයට ලෞකික දේවල් අසීමිත ලෙස ලැබුණු අවස්ථා දැක ගත හැකිය. මෙවැනි බොහෝ අය ගැන කුරානයේ සඳහන් වන්නේය. මේ නිසා දෙවියන්ව විශ්වාස නොකරන කෙනෙකුට වස්තුව ලැබීමෙන් ඔහු නිවැරදි මාර්ගයේ සිටින බව කිව නොහැකිය.
පෘථිවිය මත ඇති සෑම දෙයකින්ම දෙවියන්ගේ බල මහිමය කියා පාන්නේය. උදාහරණයක් වශයෙන් පසේ දමන බීජයක් දිරා නොගොස් ඉන් පැලයක් හටගෙන පසුව එය ගසක් බවට වැඩි නැවත පල දරන්නේ දෙවියන්ගේ සැලසුම නිසාය. තවද එම පල නොයෙකුත් රසයෙන් සුවඳින් වර්ණයෙන් සහ ගුණයෙන් යුක්ත වන්නේ දෙවියන්ගේ මැවීමක් නිසාය. නැතහොත් මෙවැනි දෙයක් සිදු විය නොහැකිය. මීට අමතරව දෙවියන් පිලිබඳ විශ්වාසය ඇති කිරීම සඳහා විද්‍යාව නොදියුණු කාලවල නබිවරුන් විසින් ප්‍රාතිහාරයන් පා ඇත. මේ අනුව ජේසු තුමාගේ කාලයේ ජීවත්වූ අයට අභියෝග කරමින් එතුමා මළවුන් නැගිටුවා ඇත. එසේම ලාදුරු රෝගීන් සුවපත් කොට ඇත. මේ සෑම එකකටම වඩා එතුමා පියෙකු නොමැතිව පිළිසිඳ ගෙන තිබේ. අනෙක් නබිවරුන්ද ප්‍රාතිහාරයන් පෙන්වා ඇත. එසේ තිබියදී නබිවරුන්ගේ අවසාන පුරුක ලෙස මෙලොවට පැමිණි මුහම්මද් නබිතුමාට පහළ වූ අල් කුරානය එදාට පමණක් නොව අදටත් ප්‍රතිහාරයක් මෙන්ම ලිඛිත ශාක්ෂියකි. එවැනි ග්‍රන්ථයක් මෙතෙක් කිසිවෙකුට නිර්මාණය කිරීමට හැකිවී නැත.
ඇතැම් විද්‍යාඥයින් දෙවියන්ව විශ්වාස නොකරත් ඔවුන්ට පිළිතුරු දීමට නොහැකි ප්‍රශ්න රාශියක්ම ඇත. ඒ අනුව විශ්වය මහා පිපිරුමකින් ඇතිවූ බව ඔවුන් සඳහන් කලත් ඒ සඳහා සැලසුම් සකස් කලේ කව්රුන්දැයි පවසා නැත. තවද, ඕනෑම පිපිරුමකින් පසු ව්‍යාකුලතාවය වැඩි වුවත් මහා පිපුරුමෙන් පසු ඉතා හොඳින් සංවිදානය වූ විශ්වයක් බිහිවී ඇත. මෙය ඇතිවුයේ කෙසේදැයි ඔවුන් පවසන්නේ නැත. මෙවැනි තවත් බොහෝ කරුණු පහත දැක්වේ.

  • පෘථිවියේ සැකසුම සහ එහි ඇති දේවල් ඉතා සංකීර්ණ ය. එහෙත් එය සිදු වුයේ කෙසේදැයි විද්‍යාඥයින්ට පැහැදිලිව යමක් කිව නොහැකිය. එහෙත් අල් කුරානයේ එය සඳහන් වන්නේය.
  • පෘථිවියේ පිහිටීම සහ එහි නිවැරදි ප්‍රමාණය නිසා එයට වායුගෝලයක් පවත්වාගැනීමට හැකිවී තිබේ. තවද එම වායුගෝලය ජිවින්ට හිතරක අන්දමින් පවත්වාගෙන යාමට යාන්ත්‍රණයක් ඇත. මෙය සිදු වුයේ කෙසේදැයි විද්‍යාඥයින්ට විස්තර කල නොහැකිය.
  • පෘථිවිය දෙසට සුර්යායගෙන් පැමිණෙන අහිතකර කිරණ පෙරා වෙන් කොට ජීවීන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා විදිමත් සැලැස්මක් ඇත. එය සිදුවූයේ කෙසේදැයි විද්‍යාඥයින් විසින් නිවැරදිව විස්තර කොට නැත.
  • විශ්වය පුරාම එකම ස්වභාවික නීති පද්දතියක් ක්‍රියාත්මක වන්නේය. එසේම විශ්වයේ බොහෝ විශ්ව නියතයන් දැකිය හැකිය. මෙවැනි දෙයක් සිදුවන්නේ කෙසේදැයි විද්‍යාඥයින් විස්තර කොට නැත. එහෙත් එමගින් විශ්වය එක් දෙවි කෙනෙකුගේ නිර්මාණයක් බව නිගමනය කල හැකිය.
  • පෘථිවියේ වෙසෙන සෑම ජීවියෙකුගේම අංග සම්පුර්ණ විස්තරයක් කියැවිය හැකි ආකාරයට ඥානාන්විත අයුරින් DNA අනුවල ගබඩා කොට ඇත. එය පරිගනකයක දත්ත ගබඩා කිරීමට වඩා සංකීර්ණ වේ. මෙය විස්තර කිරීම විද්‍යාඥයින්ට අභියෝගයකි.
  • විශ්වයේ සිටින ජීවින් අතරින් මිනිසා අද්විතීය ස්ථානයක් හොබවන්නේය. මිනිසා ගැන අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට එය පහසුවෙන්ම තේරුම් ගත හැකිය. එසේ වීමට හේතුව විද්‍යාඥයින් විසින් මෙතෙක් නිවැරදිව විස්තර කොට නැත. එහෙත් දෙවියන් විසින් එය පැහැදිලිව පවසා ඇත.

මෙහි සඳහන් කලේ ඉතාමත්ම සීමිත කරුණු කිහිපයක් පමණි. ඒවා තේරුම් ගත හැකිවන පරිදි මිනිසාව මවා තිබේ. මේවාට පිළිතුරු සෙවීමේදී විශ්වයට මැවුම්කරු එක් දෙවි කෙනෙක් පමණක් සිටින බව නිගමනය කල හැකිය. ඒ අනුව මිනිසාට අවංක උවමනාවක් තිබේ නම් විශ්වයට නිර්මාණ කරුවෙක් සිටිය යුතු බව තේරුම් ගැනීමට හැකි විය යුතුය. ඒ අනුව මිනිසාට ආගමක අවශ්‍යතාවය ගැන වටහා ගැනීමට හැකි වන්නේය. එහෙත් නිවැරදි දහම කුමක්දැයි සොයා දැනගැනීම මිනිසා හමුවේ ඇති ප්‍රධාන අභියෝගයකි. කෙසේ වෙතත් ලොවට පහළ වූ අවසාන නබිවරයා මුහම්මද් තුමා බවත් ලොව පහළ වූ අවසාන දේව ග්‍රන්ථය අල් කුරානය බවත් ප්‍රත්‍යක්ෂ කරුණකි. එබැවින් අල් කුරානය සහ ඉස්ලාම් දහම නිවැරදිව හැදෑරීම මිනිසාට පැවරෙන භාර දුර කර්තව්‍යයකි.
By Fasy Ajward. 

B.Sc (Sp,Phy) Hons.Japura.Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/