ඉස්ලාමීය අවමංගල චාරිත්‍ර

06/05/2020

Islamic funeral customs

April 02, 2020 

මිනිසාගේ උපතේ සිට මියයන තුරු සියළුම දේවල් ඉස්ලාම් දහමින් පෙන්වා දී තිබේ. ඒ අනුව මුස්ලිම්වරයෙකුගේ අවමංගල චාරිත්‍ර ද සිදු විය යුත්තේ ඉස්ලාම් දහම නියෝග කොට ඇති අකාරයට ය. ඒ අනුව මුස්ලිම්වරයෙකුගේ දේහය භූමදානය කරනු ලබන අතර ආදාහනය කරන්නේ නැත. ආදාහනය කිරීම ඉස්ලාම් දහමට පටහැනි ක්‍රියාවකි.
ජනාසාවක් භූමදානය කිරීමෙන් පසු එහි රැස්ව සිටින අය විසින් මෙහි දැක්වෙන කුරානයේ වැකිය පරායණය කරමින් පස් පිඩු තුනක් එම ජනාසව තිබෙන මිනි වල තුලට දැමීම නබිතුමාගේ සුන්නාවකි. "අපි නුඹලාව එයින්ම (පසෙන්) මැව්වෙමු. (නැවතත්) ඔබව ඒ වෙතම හරවා යවන්නෙමු. නැවතත් ඔබලාව ඉන් එලියට ගන්නෙමු" (කුරානය 20:55). මේ අනුව පසෙන් නිර්මාණය වූ මිනිසාව පස තුලම දිරා යාමට සැලැස්වීම ඉස්ලාමිය ක්‍රමය වේ.
ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති භුමදාන ක්‍රමයට වැය වන්නේ ඉතා අඩු වියදමකි. තවද මුස්ලිම්වරයෙකු මිය ගිය විට ඉතා කෙටි කාලයක් තුලදී භූමදාන කටයුතු සිදු කරනු ලබන්නේය. ඒ අනුව මිනිය එම්බාම් කිරීමට අවශ්‍යවන්නේ නැත. ඒ අනුව එම ක්‍රමය ඇති නැති සියළු දෙනාටම පහසුවෙන් අනුගමනය කල හැකි ය. තවද ඉස්ලාමිය අවමංගල්‍ය ක්‍රමය දුගියාගේ පටන් ධනවතා දක්වා එකසේ අනුගමනය කිරීම විශේෂත්වයකි.
මුස්ලිම්වරයෙකු මිය ගිය විට එය ඥාතින් වෙත ද හිතමිතුරන් වෙත ද දැන්විය යුතුය. තවද, ඔහුගේ දේහය භූමිදානය කිරීමේ වගකීම ඔහුගේ ලඟම ඥාතීන්ට පැවරෙන්නේය. ඥාතින් සොයාගැනීමට නොහැකි වූ අවස්ථාවකදී ගමේ සිටින සියළු දෙනාටම එහි වගකීම පැවරෙන්නේය. කෙසේ වෙතත් ගමේ සිටින යම් පිරිසක් විසින් භූමිදාන කටයුතු සිදු කරනු ලැබුවේ නම් එමගින් ගමේ සිටින සියළු දෙනාම වගකීමෙන් නිදහස් වන්නේය.
මුස්ලිම්වරයෙකු මිය ගිය විට විශේෂ හේතුවක් නොමැති අවස්ථාවලදී භුමිදානයට පෙර ජලයෙන් නෑවිය යුතුය. ඉන් පසුව පිරිමි දේහයක් නම් සුදු රෙදි කඩ තුනකින් ද කාන්තා දේහයක් නම් රෙදි කඩ පහකින් ද කෆන් කිරීම හෙවත් භූමිදානය සඳහා සුදානම් කරනු ලැබේ. අනතුරුව ඥාතින් ඇතුළු අනෙක් සියළු දෙනාටම එම ජනාසාව බැලීමට ඉඩ සලසනු ලබේ. ඉන් පසු පිරිමි පාර්ශවය විසින් එම දේහය භූමිදානය සඳහා රැගෙන යනු ලැබේ. ජනාසාව රැගෙන සුසාන භූමියට යන අවස්ථාව සඳහා කාන්තාවන් සහභාගී වන්නේ නැත.
ජනාසාව භූමිදානය කිරීමට පෙර එම මරණය වෙනුවෙන් සාමුහික දේව මෙහෙයක් පවත්වනු ලබේ. එමගින් මියගිය තැනැත්තා වෙනුවෙන් පව් සමා කරන ලෙස අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්නේය. ඉන් පසු එම දේහය භූමිදානය කරනු ලබේ. අනතුරුව එහි පැමිණ සිටින අය විසින් මිය ගිය තැනැත්තා වෙනුවෙන් තනි තනිවම ප්‍රාර්ථනා කිරීම නබිතුමාගේ මග පෙන්වීමකි.
ඉස්ලාමිය මල ගෙදරක සහ ඉස්ලාම් නොවන මල ගෙදරක ඇති ප්‍රධාන වෙනසක් වන්නේ මිය ගිය තැනැත්තා වෙනුවෙන් ශබ්ද නගා හඬා වැළපීම තහනම් කොට තිබීම, මරණය භූමිදානය සඳහා රැගෙන යන අවස්ථාවේදී බෙර වාදනය හෝ නලා වාදනය නොකිරීම, මල් වඩම් හෝ වෙනත් සංකේත රැගෙන නොයාම වේ.
මුස්ලිම්වරයෙකුගේ භූමදානය සඳහා මිල අධික මිනි පෙට්ටියක් භාවිතා කරනු ලබන්නේ නැත. ඒ වෙනුවට එකම වේවැල් කුඩයක් සෑම ජනාසාවක් වෙනුවෙන්ම නැවත නැවත භාවිතා කරනු ලැබේ. එසේම මුස්ලිම්වරයෙක් භූමිදානය කල ස්ථානයේ ස්ථිර ගොඩනැගිලි ඉදි කාන්නේ නැත. එය දහමින් තහනම් කොට ඇත. ඒ අනුව කෙනෙක් භූමිදානය කල ස්ථානයේ නැවත නැවත වෙනත් දේහයන් භූමිදානය කිරීමට ඉඩ සැලසෙන්නේය. මේ නිසා මුස්ලිම් සුසාන භූමිවල ඉඩ නැති ප්‍රශ්නයක් පැන නගින්නේ නැත.
ඉස්ලාමිය අවමංගලයකදී සැලකිය යුතු කරුණු:

  • මියගිය දේහය භූමිදානය කිරීමට පෙර ඔවුන් ණයවී සිට ඇත්තම් ඒවා පියවීමට කටයුතු කළ යුතුය. ඇයිද යත් කෙනෙකුගේ ණය ගෙවන තුරු ඔහුට හෝ ඇයට ස්වර්ගයට යා නොහැකි බව නබිතුමා පවසා ඇති බැවිනි. තවද නබිතුමා එවැනි අයගේ ජනාසා වන්දනය මෙහෙයවීම සඳහා ඉදිරිපත් වී නොමැත.
  • ජනාසාව භූමිදානය කිසිම සඳහා සුදානම් කල පසු නබිතුමා පෙන්වා නොදුන් "හලරා" වැනි දේවල් සිදු කිරීම අළුතින් දහමට එක්කල දේවල් වේ. දහමට අළුතින් එක් කළ දේවල් නිෂ්ප්‍රභා කරන ලෙස නබිතුමා පවසා ඇත.
  • මල ගෙදරට සහභාගිවන අය වෙනුවෙන් කෑම පිළියෙළ කිරීම එම නිවැසියන්ට පැවරීම වැරදි ක්‍රමයකි. නබිතුමාගේ උපදෙස් අනුව එය සිදු විය යුත්තේ ඥාතින්, හිත මිත්‍රාදීන්, අසල්වැසියන් විසිනි (සහිහ් බුහාරි 7:593, සහිහ් මුස්ලිම් 4:5491).

ඉස්ලාම් දහම අනුව ස්වාමියා වෙනුවෙන් භාර්යාවක් මාස හතරකුත් දින 10ක ශෝක කාලයක් ගත කල යුතුය. එහෙත් මිය ගිය අයගේ භාර්යාව හැර අනෙක් අයට මිය ගිය අය වෙනුවෙන් දින තුනකට වඩා ශෝකය පල කල නොහැකිය. ඒ අනුව එම කාලය තුලදී සුවඳ විලවුන් භාවිතා කිරීම හෝ අලංකාරවත්ව ඇඳුම් ඇඳීම හෝ නැවත විවාහ වීම හෝ කල හොහැකිය. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය හේතුවක් ඇතොත් බෙහෙත් ගැනීම සඳහා එම වැන්දඹු කාන්තාවට වෛද්‍යවරයෙකු හමු විය හැකිය. එසේම දහමින් අනුමත කල වෙනත් අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ද වැන්දඹු කාන්තාවට සහභාගී විය හැකිය.
මිය ගිය අය වෙනුවෙන් දින නියමකරගනිමින් දාන දීම නබිතුමා පෙන්වා පෙන්වා දී නැතත් ඔවුන් වෙනුවෙන් නබිතුමා පෙන්වා දී ඇති ආකාරයට පින් අනුමෝදම් කල හැකිය. උදාහරණයක් වශයෙන් මිය ගිය තැනැත්තාට පින් පැමිණවීම පිණිස ලිඳක් කපා එහි ජලය මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කිරීම හෝ පුස්තකාලයකට පොත් පරිත්‍යාග කිරීම හෝ අරෝග්‍යශාලාවකට ඇඳන් ලබා දීම හෝ වෙනත් එවැනි ද්‍රව්‍යමය පින්කමක් කල හැකිය. 

By Fasy Ajward. B.Sc(Special) Hons.https://www.facebook.com/thetruepathofislamඑබැවින් https://truepath1.blogspot.com/Twitter:-thetrue_path