දැනුම නොමැතිව අල් කුර්ආනය විග්‍රහ කළ හැකිද?

06/05/2020

The Quran without knowledge?

April 25, 2020 

සත්‍යය සොයා යන ඇතැම් මුස්ලිම් නොවන අය අල්-කුර්ආනයයේ දිව්‍යමය ප්‍රභවය හඳුනාගෙන නැතත් එය අද්විතීය හා විස්තර කළ නොහැකි තරම් බලවත් ග්‍රන්ථයක් බව තේරුම්ගෙන තිබේ. පහත දැක්වෙන්නේ එවැනි ප්‍රකාශනයකි.
"අල් කුර්ආනය ලෝකයේ ඇති ශ්‍රේෂ්ඨ ආගමික ග්‍රන්ථ අතර වැදගත් ස්ථානයක් හිමි කරගෙන ඇති බව පිළිගත යුතුය. එය සාහිත්‍ය පන්තියට අයත් යුගයක් නිර්මාණය කිරීමේ ලාබාලතම කෘතිය වුවද, එමගින් බහුතර මිනිසුන් කෙරෙහි ඇති කර තිබෙන පුදුමාකාර බලපෑමෙන් කිසිසේත්ම ගැලවිය නොහැකිය. එය මිනිස් චින්තනයේ නව අවධියක් සහ නැවුම් චරිතයක් නිර්මාණය කර තිබේ. කුරානය මගින් මුලින්ම අරාබි අර්ධද්වීපයේ විෂමජාතීය කාන්තාර ගෝත්‍ර වැසියන් ගණනාවක්ම වීර චරිතයන් බවට පරිවර්තනය කර තිබේ. පසුව යුරෝපයේ සහ නැගෙනහිර රටවල්වල දේශපාලන-ආගමික බලවේගයක් බිහි කිරීමට සමත් වී ඇත" (G. Margoliouth, Introduction to J.M. Rodwell's, "The Koran," New York: Everyman's Library, 1977, p. vii.).
කුරානය සම්බන්දයෙන් මුස්ලිම් නොවන අයගේ මෙවැනි තවත් බොහෝ ප්‍රකාශනයන් තිබේ. එසේ තිබියදී ඇතැම් අය "කුර්ආන්" යන වචනය පවා නිවැරදිව උච්චාරණය කිරීමට නොහැකිව තිබියදී එහි ඇති ඇතැම් කරුණු විවෙචය කිරීම කනගාටුවට කරුණකි.
අල් කුරානය මුහම්මද් නබිතුමාට පහළ වුවත් එය සමස්ත මිනිස්වර්ගයාටම නිවැරදි මාර්නය පෙන්වා දීම සඳහා අල්ලාහ්ගෙන් පහළ වූ මාර්ගෝපදේශයකි. එහි විවරණය ලෙස සලකනු ලබන්නේ මුහම්මද් නබිතුමාගේ මඟ පෙන්වීමයි. තවද එය ලෝකය පවතින තාක් කල් ආරක්ෂා කිරීමේ වගකීම අල්ලාහ් ඔහුවෙත පවරාගෙන තිබේ. එම නිසා කිසිවෙකුට කුරානය වෙනස් කිරීමට ලැබෙන්නේ නැත.
අල් කුරානය පහළ වුයේ ඒ ඒ අවස්ථාවන්ට අවශ්‍ය පරිදි කරුණු පැහැදිලි කරමින් කොටස් වශයෙනි. ඒ අනුව එහි ඇති ඇතැම් වැකි පහළ වී තිබෙන්නේ යුද්ධයක් සිදුවන අවස්ථාවේදී ක්‍රියා කල යුතු අකාරය විස්තර කිරීමට ය. සමහර වැකි පහළ වී තිබෙන්නේ ආර්ථික කටයුතු සම්බන්දයෙනි. සමහර වැකි පහළ වී තිබෙන්නේ විවාහය සහ දික්කසාදය සම්බන්ද කරුණු පැහැදිලි කිරීමට ය. සමහර වැකි පහළ වී තිබෙන්නේ දෙමව්පියන් සහ දරුවන් සම්බන්ද කරුණු විස්තර කිරීමට ය. මේ නිසා කුරානය නිවැරදිව තේරුම් ගැනීම සඳහා එහි ඇති වැකි පහළ වීමට බලපාන ලද හේතු දැනගෙන සිටිය යුතුය.
කරුණු එසේ තිබියදී මුස්ලිම් නොවන ඇතැම් අය උවමනාවෙන්ම කුරානයේ ඇති වැකිවලින් කොටස් සන්දර්බයෙන් තොරව උපුටා දක්වමින් ඒවා විවෙචය කරති. ඉන් සිදු වන්නේ ඔවුනුත් නොමග යන අතරම අනෙක් අයත් නොමග යැවීම යි. මේ සඳහා ඔවුන් උපුටාගනු ලබන කුර්ආන් වැකිය මෙසේය,
"නුඹලා ඔවුන්ව කොතැනක දුටුවත් ඝාතනය කරනු" (කුරානය 2:191)
ඉතත සඳහන් කුරආන් වැකිය ද්වේශසහගත ලෙස සන්දර්බයෙන් බැහැරව ඉදිරිපත් කල විට පෙනී යන්නේ කුරානය ඉතා භයානක ග්‍රන්ථයක් ලෙසය. එහෙත් එම වැකියට ඉහලින් සහ ඊට පහලින් ඇති වැකි කෙරෙහි අවදානය යොමු කිරීමේදී පෙනී යන්නේ කුරානය මානව හිතවාදී ග්‍රන්ථයක් බවයි. අදාළ වැකියට ඉහලින් ඇත්තේ මෙලෙසය.
"කවරහු නුඹලා සමග සටන් කරයිද ඔවුන් සමග නුඹලාද අල්ලාහ්ගේ මගෙහි සටන් කරන්න. සීමාව නොඉක්මවන්න. නියතව අල්ලාහ් සීමාව ඉක්මවන්නන්ව ප්‍රිය නොකරන්නේය"
ඒ අනුව (2:191) වැනි වැකියේ ඇති නියෝගය ආදාල වන්නේ මුස්ලිම්වරුන්ට විරුද්ධව යුධ වැදුණු අයට පමණක් බව ඉතා පැහැදිලිය. අදාළ වැකියට පහලින් ඇති (2:192) වන වැකිය මෙසේය.
"නමුත් ඔවුන් (සටන් නොකර) ඉවත් වුයේ නම් නියතව අල්ලාහ් අධිකව ක්‍ෂමාකාරන්නාය; අසම දයාවන්තයය"
ඒ අනුව පැහැදිලි වන්නේ (2:191) හි විස්තර කොට ඇත්තේ යුද්ධයේදී සතුරා සමග සටන් කිරීම සම්බන්දයෙන් බවයි. එහෙත් ඔවුන් යුද කිරීමෙන් ඉවත් වන්නේ නම් වහාම ඔවුන් සමග යුද වැදීම නතර කල යුතු බව පවසා තිබේ. මේ නිසා (2:191) වැනි වැකිය පරිවර්තයන විය යුත්තේ මුස්ලිම්වරුන්ගේ කුර්ආන් පරිවර්තන වල දැකිය හැකි පරිදි මෙලෙසය.
"නුඹලා ඔවුන්ව (සටනේදී) කොතැනක දුටුවත් ඝාතනය කරනු" යනුවෙනි.
මෙය ඕනෑම යුද්ධයකදී අනුගමනය කරනු ලබන සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වේ. මේ අනුව ඉස්ලාම් විරෝධීන් කියන අකාරයේ වැරැද්දක් කුර්ආන් වැකි තුල ඇතුලත් වන්නේ නැත.
අල් කුරානයේ මුස්ලිම් නොවන අය සමග සහයෝගයෙන් ජිවත් වීම ගැන මෙසේ සඳහන් කර ඇත. "කවරහු ආගම නිසා නුඹලා සමග සටන් නොකළෝද ඔවුන්ටද, තවද, නුඹලාව නුඹලාගේ නිවෙස්වලින් පිට නොකළෝද ඔවුන්ටද, නුඹලා යහපත් දේ කිරීමද, ඔවුන් සමග යුක්තිසහගතව ක්‍රියා කිරීම කෙරෙහිද අල්ලාහ් නුඹලාව වැලක්වුයේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් යුක්තිගරුකව ක්‍රියා කරන්නන්ව ප්‍රිය කරන්නේය" මින් පැහැදිලි වන්නේ සහජීවනයට කුරානයේ ඉඩක් දී ඇති බවයි.
මුස්ලිම් නොවන්නන් සමග යුක්ති ගරුකව ක්‍රියා කිරීම සම්බන්දයෙන් නබිතුමා මෙසේ ප්‍රකාශ කොට ඇත. "ප්‍රවේසම් වනු! කවුරුන් හෝ මුස්ලිම් නොවන සුළුතරයක් කෙරෙහි කුරිරු හා දැඩි ලෙස කටයුතු කරන්නේ නම් ද ඔවුන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරන්නේ නම් ද ඔවුන්ට දරාගත හැකි ප්‍රමාණයට වඩා බරක් පටවන්නේ නම් හෝ ඔවුන්ගේ නිදහස් කැමැත්තට එරෙහිව ඔවුන්ගෙන් යමක් ලබා ගන්නේ නම් ද මම (මුහම්මද් නබි) එම පුද්ගලයාට එරෙහිව විනිශ්චය දිනයේදී පැමිණිලි කරන්නෙමි" (අබු දාවුද්). මේ නිසා මුස්ලිම් රාජ්‍යයක වෙසෙන මුස්ලිම් නොවන්නන්ගේ අයිතිවාසිකම් නබිතුමා විසින් තහවුරු කොට තිබේ.
අල් කුරානයේ සත්‍යය පැහැදිලි කොට තිබියදීත් යම් කෙනෙක් තම පෞද්ගලික උවමනාවන් සඳහා කුරානය උපයෝගී කර ගන්නේ නම් එය ඔහුගේ වරදකි. ඒ සඳහා ඔහුට දිය හැකි උපරිම දඬුවම ලබා දිය යුතුය. එසේ නොකර එම වරද සමස්ත මුස්ලිම් ජනයා වෙත පැටවීම කිසිසේත්ම අනුමත කල නොහැකිය.

Fasy Ajward.B.Sc (Phy.Sp) Hons,Japura,
https://www.facebook.com/thetruepathofislam
https://truepath1.blogspot.com/
Twiter:- thetrue_path