ඉබ්‍රාහිම් නබි තුමාට දෙවියන් වහන්සේ දුන් පොරොන්දුව...

11/01/2018
"මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශිර්වාදයක් වෙයන්න; තවද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශීර්වාද කරන්නෙමි; නුඹට සාප කරන්නාට මම ශාප කරන්නෙමි; පොළවේ සියලු පවුල් නුබ කරණ කොටගෙන ආශිර්වාද ලබන්නෝ ය යි කී සේක". (උත්පත්ති 12:2-3).
.......... ඉහතින් දක්වන ලද්දේ ශුද්ධවූ බයිබලයෙහි සඳහන් ආබ්‍රහම්(ඉබ්‍රාහිම්) නබි තුමාට දෙවියන් වහන්සේ දුන් පොරොන්දුය . ආබ්‍රහම් තුමා ගේ පියා තේරාය. තෙරා ජීවත්වනු ලැබුවේ තෙරාප්‍රාත් ගංගාවෙන් එතෙර හාරාන් නම් ප්‍රදේශයේය. තෙරා ගේ රැකියාව වූයේ පිළිම නෙළීමය. ආබ්‍රහම් හාරාන්හි ජීවත් වන විට සර්වබලධාරී දෙවිඳාණන් ආබ්‍රහම්ට කතා කොට දෙවියන් වහන්සේ විසින් පෙන්වන ලද දේශය ට යන ලෙස අණ කරන ලදී. උත්පත්ති දොළොස් වන පරිච්ඡේදයෙහි පළමුවන පදයෙහි සඳහන් වන්නේ "ස්වාමීන් වහන්සේ ආබ්‍රහමිට කතා කොට නුඹේ දේශයෙන් ද; නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින් ද පිටත්ව මා විසින් පෙන්වන දේශයට පලා යන්න" යනුවෙනි. සර්වබලධාරි දෙවිඳාණන් ගේ අණට කීකරු වූ ආබ්‍රහම් සිය ජීවත්වන ප්‍රදේශයේ වූ හාරාන්ප්‍රදෙශයෙන් පිටත්ව කානාන් දේශයට පැමිණියෝය. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කථාකොට මේ දේශය නුබට උරුමයක් කොට දෙන්නෙමි" යයි වදාළසේක .
........ සර්වබලධාරි දෙවිදාණන් ගේ අණට කීකරු වූ ආබ්‍රහම්(නබි සල්ලල්ලාහු) තුමාණන් ට දෙවියන් වහන්සේගේ පොරොන්දු ඉටු වන ආකාරය විශ්මය ජනකය. හාරාන්හි දී ආබ්‍රහම් සමග ජීවත්වූ ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරාත් දමා ගිය සහෝදරයාගේ පුත්‍රවූ ලොත්(ලූත් අලෛ) හා තමන්ගේ සේවකයන් තමන්ගේ සම්පත් මේ සියල්ල රැගෙන කානාන් දේශයට පැමිණියේය. ආබ්‍රහම් (සල්) තුමාණන් එහි වාසය කරන විට සර්වබලධාරි දෙවිදාණන් ඔහුට දරුවෙක් දීමට පොරොන්දු විය. එවිට ආබ්‍රහම්ගේ වයස අවුරුදු 99 ක් විය. සරාගේ වයස අවුරුදු 90 කි. කෙසේ වෙතත් ආබ්‍රහම්ට දාව සරා තුලින් දරුවෙකු දෙන බවට දෙවියන් වහන්සේ පොරොන්දු විය. ඒ අනුව සරා තුලින් ඊසාක් (අලෛහිතුමා) උපත ලබන්නේය.
....... මෙයට ප්‍රථම සරාගේ දාසිය වූ හාජරා (හාගර්) කරණ කොටගෙන ආබ්‍රහම් හට ඉස්මායිල් බිහිවිය. සරාට ඊසාක් ලැබුණු පසු සරා අතරත් හාජරා අතරත් යම් යම් ගැටුම් ඇතිවිය. ගැටුම් නිසා ආබ්‍රහම් සිත් වේදනාවට පත් විය. එවිට හාගර් සහ ඉස්මායීල් සරාගෙන් වෙන් කරන ලෙස දෙවියන් වහන්සේ අණ කරන ලදී. ඒ අනුව ඉබ්‍රහම් විසින් හාගර්(හාජරා) සහ ඉස්මායිල් දෙදෙනාම වෙන් කරන ලදී. හාගර් සහ ඉස්මායීල් යන දෙදෙනා කානාන් දේශයෙන් වෙන්ව ෂූර් යන ප්‍රදේශයෙහි වාසය කළේය. (වර්තමානයෙහි කාබතුල්ලාහ් පිහිටා තිබෙන ස්ථානය).
ආබ්‍රහම් නිසා උපන් දරුවන් දෙදෙනාටම දෙවියන් වහන්සේ ආශීර්වාද කළ සේක. ඔවුන්ගෙන් රාජකීය පරම්පරාවක් බිහිවිය. ගෝත්‍ර දොලහ බැගින් දෙදෙනාගේම පරම්පරාවන් වර්ධනය විය. ආබ්‍රහම්ට දුන්නා වූ පොරොන්දුව අනුව අහසේ තාරකා මෙන් එතුමාණන්ගේ පරම්පරාව වර්ධනය විය. පොළොවෙහි වැලි හා සමාන ජනතාවත් ආබ්‍රහම් තුළින් බිහිවිය.
ශුද්ධවූ බයිබලයටත් ශුද්ධ වූ අල්කුරාණයටත් ආබ්‍රහම් නබිතුමාගේ සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේ දරුවන් දෙදෙනා නිසාය. ඊසාක් අලෛහිතුමා මූලික කරගෙන යුදෙව් හා කිතුනු සමාජ වර්ධනය වන අතර ඉස්මායිල් නබිතුමා කරණ කොටගෙන මුස්ලිම් සමාජය වර්ධනය විය. මුල් කාලීනව දෙපාර්ශවය අතර ම සාමය සහජීවනය පැවති අතර වර්තමානයෙහි දෙපාර්ශ්වය අතර යම් යම් මතභේද පැන නැගී තිබේ. මෙයට හේතුව සාරා තුමිය නෑකම් කියන්නේ යුදෙව් පරම්පරාවට වීමත් හාජරාතුමිය නෑකම් කියන්නේ අරාබි ජාතික පරම්පරාවන්ට වීමත්ය. තවත් අතෙකින් බලනවිට ආබ්‍රහම් නියෝජනය කරන්නේ යුදෙව් පරම්පරාවක් නොව ආබ්‍රහම් හේබ්‍රෙව් ජාතිකයෙකි.
විශ්වය මවා පාලනය කරන සර්ව බලධාරී දෙවිදාණන් විසින් ආශිර්වාද කරනු ලැබූ දරුවන් දෙදෙනා අතර කිසිවිටෙක ඉතිහාසය පුරා ගැටුමක් ඇතිවී නොමැත. ආබ්‍රහම් මියගිය අවස්ථාවේ අවසාන කටයුතු කරන්නේද ඉෂ්මායෙල් සහ ඊසාක් යන දෙදෙනාම එක්ව ය. මුල් කාලීනව දෙපාර්ශවය අතර ම දෙවියන් වහන්සේගේ කරුණාව සහ අනුග්‍රහය සමසේ භුක්ති විඳිමින් සාමය සහ සමාදානය ගොඩනැගී තිබිණි.
යුදෙව්වන් අතරත් මුස්ලිම්වරුන් අතරත් ආබ්‍රහම්ගේ නාමය කියාමත් දවස දක්වා ම ප්‍රකාශ වන්නේ ම ය. මුස්ලිම්වරුන් සහ යුදෙව්වරුන් එකම පියෙකුගෙන් පැවත එන දරුවන්ය. සර්ව බලධාරි දෙවිඳාණන් ආබ්‍රහම් නබිතුමාට දුන්නා වූ ආශිර්වාද දරුවන් දෙදෙනාටම අයිතිය. යුදෙව්වන් සිය බුද්ධිය මෙහෙයවමින් ලෝකය පුරා මුස්ලිම් ප්‍රජාවට එම අයිතිවාසිකම් අහිමි කර තනි අයිතියක් බවට පත්කර ගැනීමට නොයෙකුත් උපක්‍රම යොදා තිබේ. ඇත්ත වශයෙන්ම බුද්ධිමත්ව ආගමික දැනුමක් ඇතුව කල්පනාකර බලනවිට කිතුනු සහ මුස්ලිම් වරුන්ගේ බෙදීම ආරම්භ වන්නේ දේව ප්‍රතිපත්තිය මෙන්ම භෞතික කාරණා කෙරෙහි ඇත්තා වූ බල තන්හාව නිසාය. කිසිවෙක් ආගමානුකූලව සමාජ විකාශනය දෙස බලන බවක් පෙනෙන්නට නැත.
සැබවින්ම මුස්ලිම්වරුන් ලෙස කළ යුතු වන්නේ සත්‍ය තේරුම්ගෙන බුද්ධියට ඉඩ දීමයි. අප විසින් වර්ධනය කරගත යුතු වන්නේ බුද්ධිමය පැත්තයි. ආගමක පැවැත්ම තහවුරු වන්නේ බුද්ධිය අනුව වැඩ කටයුතු කිරීම තුළිනි. මක්නිසාද පොළවේ සියලු මනුෂ්‍යයන් ආශිර්වාද ලබන්නේ ආබ්‍රහම් නබිතුමාණන් කරණ කොට ගෙනය. එය කිසිම ආගමික සමාජයක තනි අයිතියක් නොවේ. සමස්ත මානව වර්ගයාටම ලැබෙන්නාවූ අයිතියකි.

වර්තමානයෙහි මුස්ලිම්වරුන් ලෙස අප ඇත්තා වූ දැනුම බොහෝවිට රැඳී පවතින්නේ ආගමානුකූල දැනුමක් මත පමණි. අප විසින් මතක තබා ගත යුතු වන්නේ ලොව පවත්නා සියලු විෂයයන් ඒකරාශී වෙමින් අවසාන ආගම වන ඉස්ලාම් ධර්මය ලොවට පහළ වී ඇති බවයි, අප විසින් සොයා ගත යුතු වන්නේ එම විෂයයන් කෙරෙහි දැනුම යි. බොහෝවිට ආගම යනු භක්තියට පමණක් මුල් තැන දෙන්නක් ලෙස සියලු ආගමික ඉගැන්වීමයි. නමුත් ආගමක් යනු හැමවිටම බුද්ධියට මුල්තැන දී කටයුතු කළයුතු මග පෙන්වීමක් බව තේරුම් ගත යුතුය. බුද්ධියෙන් තොර භක්තිය පමණක් මුල් කොටගත් ආගමකින් කිසිදු මිනිසෙකුට ප්‍රයෝජනයක් නැත. නූතන ආගමික සමාජයන් තුළ අපට දක්නට ලැබෙන්නේ එම ස්වභාවයයි. එමනිසා බුද්ධියට ඉඩ දෙන්න ඒ තුළින් භක්තිය ගොඩනගාගන්න. එවිට අල්ලාගේ ශාන්තිය සමාදානය විශ්වය තුළ පැතිරෙනු ඇත. 

SRMI center සාමාජික-වක මුස්ලිම්වරයෙක්..ලිපි අංක -15