සාමය වචනයෙන් නොව ක්‍රියාවෙන්......

12/01/2018

ස්ලාම් යනු කුමක්දැයි කියූ විට බොහෝ දෙනෙකුගෙන් පිළිතුරු ලැබෙන්නේ "ශාන්තිය හා සමාදානය "යන්නයි. සත්‍ය වශයෙන්ම ඉස්ලාමයේ පදනම ද එයයි. මෙය මුස්ලිම්වරුන් වශයෙන් පෙනී සිටින සමාජයට පමණක් උරුම වූවක් නොවේ. සමස්ත මානව වර්ගයා වෙනුවෙන්ම ඉටුවිය යුතු ක්‍රියාදාමයකි. මක්නිසාද ඉස්ලාම් යනු සමස්ත මානව වර්ගයා වෙනුවෙන් ම පහළ වූ ආගමකි. එය මානව සමාජය තුළ සාමය ස්ථාපිත කිරීම පිණිස ම පහළ වූ ආගමකි.

ඉස්ලාමයේ මගපෙන්වීම ලබා දුන්නා වූ නබිනායක තුමාණන් අපට මඟ පෙන්වනු ලැබුවේ ඇදහීම තුළින් මානව සමාජය තුළ සාමය ස්ථාපිත කිරීමයි. මුස්ලිම් සමාජය අතිවිශිෂ්ට සමාජයක් වශයෙන් ශුද්ධ වූ අල්කුරාණය සාක්ෂි දරයි. "ඔවුහු අල්ලාහ්වද පරමාන්ත දිනයද විශ්වාස කරන්නෝය. යහපත් දේ අණ කරන්නෝය. අයහපත් දේ වළක්වන්නෙහුය. යහපත් ක්‍රියාවන්හි එකිනෙකා යුහුසුළු වන්නෝය. මොවහු ධර්මිෂ්ඨයන් අතරින් වෙති".(සුරත් ආල ඉම්රාන් 114)

.මුස්ලිම්වරුන් යනු විශිෂ්ට සමාජයක් වන්නේ ඔවුහු සමාජය තුළ සිදුවන්නා වූ අයහපත් දේ වළක්වමින් යහපත් දේ ඉටුකිරීමට ක්‍රියාකරමින් සිය ජීවිත පැවැත්ම ගොඩනගා ගන්නට උත්සාහ දරන පිරිසක් ලෙසය. සැබැවින්ම ඊමාන්ධාරී මුස්ලිම්වරයකුගේ ජීවිතයෙහි තිබිය යුත්තේ ඉහත ශුද්ධ වූ අල් කුර්ආන් වැකියෙහි සඳහන් පරිදි ජීවිතයකි. පොදුවේ මිනිස් සමාජය තුළ දුර්ගුණ ඉවත් කිරීමට ක්‍රියා කිරීම මුස්ලිම්වරයකුගේ වගකීමයි. මක්නිසාද සමස්ත මනුෂ්‍ය වර්ගයාම පාප සිතුවිලි සමග පාප ක්‍රියාවන් වල නිරත වන්නේමය. පව් නොකරන යහපතම කරන කිසිදු මනුෂ්‍යයෙක් මිහිමත ජීවත් වන්නේ නැත. සියල්ලෝම පාපය නිසා සර්ව බලධාරී දෙවිඳාණන් ගේ මහිමයෙන් හීන වී ජීවත් වන්නෝ ය. සමාජය තුළ සාමය ක්‍රියාත්මක වීමට නම් එකිනෙකා අතර මෙකී පාපිෂ්ට ස්වභාවය අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය.

වර්තමානයෙහි මුස්ලිම් සමාජය ක්‍රියාත්මක වනුයේ උක්ත කාරණයට පටහැනි අදහස් සහ මතවාද වලින් බව දැක ගැනීමට පුළුවන. කිසිදු මිනිසෙක් ස්වභාවයෙන්ම යහපත් ස්වභාවයට පත්වන්නේ නැත. ඔහුගේ පවුල් පසුබිම, සමාජ පසුබිම, අධ්‍යාපන මට්ටම, යනාදී මෙකී තත්ත්වයන් මත ජීවිතය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට පුළුවන. එහෙත් එයින් කෙනෙකු යහපත් වූ ද ධර්මිෂ්ඨ වූ ද කෙනෙකු හැටියට පිළිගැනෙන්නේ නැත. අල්ලාහ්ගේ නියමය වනුයේ සර්වබලධාරී මැවුම්කාර වූ දෙවිඳාණන් පිළිගෙන දෙවිඳුන්ගේ මාර්ගය මිනිසා ඉදිරියේ ක්‍රියාත්මක කරවූ වක්තෘවරයාණන් අනුගමනය කිරීමෙන් පමණක්ම මිනිසෙකු ධර්මිෂ්ඨ ගණයෙහි ලා සැලකෙන බවයි. ඒය ඉස්ලාමය තුළ උගන්වන්නේ කලිමාව වශයෙනි, "ලා ඉලාහ ඉල්ලල්ලාහ් මොහම්මද් රසූලුල්ලාහ්"යන කලිමාව පිළිගෙන ඒ අනුව ජීවත්වන්නාම පමණක් ධර්මිෂ්ඨ ගණයෙහි ලා සැලකෙන බවයි.

කිසිවෙකුත් මෙම කලිමාව නොමැතිව මිය යන්නේ නම් ඔහුගේ මරණින් මතු ජීවිතය ඉතා ඛේදාන්තයකින් අවසන් වන්නේය. එය නිරයේ වේදනාත්මක උපතක ආරම්භයක් ද වන්නේය. සර්වබලධාරි දෙවිඳාණන් ආරම්භයේ පටන් ම මිනිසා පාපෙන් ගලවනු වස් මිනිස් සමාජය අතරින්ම දෙවිඳුන්ගේ වචනය ක්‍රියාත්මක කරවනු පිණිස දූතයන් තෝරාපත්කර මිනිසුන් යහපත කරා කැඳවීමේ කාර්යය සිදු කළ සේක.

මුස්ලිම්වරුන් සියලුම නබි වරුන් විශ්වාස කරන අතර පිළිපදින්නේ අවසාන වක්තෘවරයාණන්ය. මින් ඉදිරියට කිසිදු වක්තෘවරයෙක් මිහිමත පහළ වන්නේ නැත. එමනිසා අල්ලාගේ දූත මෙහෙවරෙහි කාර්යය මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගේ මගපෙන්වීම පරිදි ක්‍රියාත්මක කිරීමේ වගකීම මුස්ලිම් සමාජය කෙරෙහි පැවරී ඇත්තේ ය. විශ්වයෙහි සාමය ස්ථාපිත කිරීම මුස්ලිම්වරයාගේ වගකීමකි.

වරක් මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගන් ඉස්ලාම් යනු කුමක්ද යන්න ප්‍රශ්න කරන ලදී. එවිට එතුමා, "දන්නා නොදන්නා අයට සලාම් දීම", ඉස්ලාම් වන බව ප්‍රකාශ කරන ලදී. මේ අනුව ඉස්ලාම් යනු අප දන්නා හඳුනන අය අතර පමණක් ශාන්තිය සමාදානය උදෙසා කටයුතු කිරීම නොවන අතර සමස්ත මානව ප්‍රජාව අතර ම එය ක්‍රියාත්මක කිරීමේ වගකීම මුස්ලිම්වරයා සතුව පවතින බව ඉතා පැහැදිලිය .

බොහෝ විට අද සියලුම ආගමික සමාජයක් දෙස බලන විට ඔවුන් සොයන්නේ යහපත්, කිසිම වරදක් නොකරන, පිළිවෙත් සුරකින සමාජයන් තුළ යහපත ස්ථාපිත කිරීමටය. සමාජයේ නොයෙකුත් අකටයුතුකම් වල නියැලෙන මිනිසුන් කෙරෙහි වර්තමානයෙහි කුමන හෝ ආගම තුළින් වුන් අතර යහපත ඉටු විය යුතු යැයි ක්‍රියාත්මක වීමක් නොමැත. ඉස්ලාම් පහළ වූයේ ම අධර්මිෂ්ඨ (ජාහිලියා) සමාජයකටය. මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගේ නබිත්වයෙන් පසුව මෙම සමාජය ධර්මිෂ්ඨ සමාජයක් ලෙස වෙනස් වූහ. එතුමාගේ ජීවන ආදර්ශයත් සත්‍යවාදී වචනයත් සමාජය වෙනස් වීමට බෙහෙවින් බලපෑවේය.

වර්තමානයේ සමාජයේ සිදුවන අකටයුතුකම්, අධර්මිෂ්ඨකම් ප්‍රසිද්ධියේ විවේචනය කර එය පෙන්වා දීමෙන් යහපත කරා ඔවුන්ව කැඳවීමේ කිසිදු ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේද යන්න සැක සහිතය. සැබෑ ඉස්ලාමය පිළිගත් නවක මුස්ලිම්වරයකුගේ වගකීම, "යහපත කරා මිනිසුන් කැඳවීම විය යුතුය". නවක මුස්ලිම්වරුන් ලෙස මෙකී ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමුකළ යුතු ය. ඒ හැර මානව සමාජය තුළ සාමය ස්ථාපිත කිරීමට වෙනත් මගක් නොමැත 

(I:S)