මලායිකාවරුන් හැඳින්වීම

25/11/2023

මලයිකාවරුන් ගැන විශ්වාස කිරීම යනු ඉස්ලාම් ඇදහිල්ලෙහි දෙවන මූලිකාන්ගයයි.

අල්ලාහ් මෙසේ පවසයි.

"රසූල්වරයා තම ස්වාමියාගෙන් ඔහුට පහළ වූ දේ විශ්වාස කරයි, විශ්වාස කරන්නන් ද එසේමය. සියල්ලෝම අල්ලාහ්, ඔහුගේ දූතයන් සහ ඔහුගේ මලායිකාවරුන් ගැන විශ්වාස කරති".

අල් කුර්ආනය (2:285)

මිනිසාව ජලය මිශ්‍ර පසෙන් නිර්මාණය කර ඇති මෙන් මලායිකාවරුන් නිර්මාණය කර ඇත්තේ ආලෝකයෙනි.

ඔවුන්ට මිනිසුන්ට මෙන් ස්වයං තීරණය ගැනීමේ හෝ තමන්ගේම ස්ව ආශාවන් නැත. ඔවුන් අල්ලාහ්ගේ ගෞරවනීය සේවකයන් වන අතර කිසිවිටෙකත් ඔහුට අකීකරු නොවේ. ඔවුන්ට හිතාමතා හෝ වැරදීමකින් හෝ අල්ලාහ්ගේ නියෝගයට එරෙහිව යාමට නොහැකි වේ. ඔවුන් පාපී වැඩ කරන්නේද නැත. ඔවුන් දෙවියන් කැමති තාක් කල් තමාට නියමිත වූ සේවයේ යෙදෙමින් සෑමවිටම දෙවියන්ව නමස්කාර කරමින්, ඔහුව ප්‍රසංශා කරමින් සිටී.

ඔවුන්ට විවිධ ස්වරූප ඇත. එසේම ඔවුන්ගෙන් සමහරුන්ට වෙනත් ස්වරූප වලට හැරීමටද හැකියාව ඇත.

සමහර දේවදූතයන්ට ආත්මය පිටතට ගැනීම ස්ථිර රාජකාරියක් ලෙස අණ කර ඇත. සමහරුන්ට වර්ෂාව ලබා දීම සම්බන්ධව වගකීම පවරා ඇත. සමහරුන්ට මවගේ ගර්භාෂයේ සිටින දරුවෙකුගේ සිරුරෙහි කොටස් හැඩතල කිරීමට භාර දී ඇත. සමහරුන්ට මිනිසා කරන කියන දේ ලිවීමට භාර දී ඇත. මේ ආකාරයට අල්ලාහ් සිටින ඔහුගේ රාජධානියේ සිට ඉන් පිටත ඇත ඔහුගේ නිර්මාණයන් තුල විවිධ ආකාරයේ කටයුතු ඔවුන් විසින් ඉටුකරමින් සිටී.

මලායිකා හෙවත් මෙම සුරදූතයන් පිරිමි හෝ ගැහැණු ලෙස වෙන් වශයෙන් නොසිටී. ඔවුන්ට ලිංගබේදයක් නැත.

"...ඔවුන් අල්ලාහ් අණ කරන දෙයට අකීකරු වන්නේ නැත. ඔහු ඔවුන්ට අණ කරන ලද දේ හරියටම කරති". (Al Quran 66:6)