මිනිස් හදවත දැඩි වීම කෙරෙහි බලපාන සාධක

07/05/2020

 Factors affecting the hardness of the human heart)

November 25, 2019 

මිනිස් මනස පිළිබඳව සිදු කරනු ලබන්නාවූ පර්යේෂණ අනුව එය භෞතික දෙයක්ද නැතහොත් පාරභෞතික දෙයක්ද යන්න ස්ථිර ලෙස නිගමනය කොට නැත. කෙසේ වෙතත් අනාදිමත් කාලයක සිටම සිතීමේ ප්‍රධාන අවයවය හර්ධය බවට පිළිගැනීමක් තිබේ. මේ නිසා "ඔබේ හදවතට තට්ටු කොට බලන්න" නැතහොත් "හර්ධය ශාක්ෂියට එකඟව කියන්න" යනාදී දේවල් ජනවහරේ දැකිය හැකිය. මේ අනුව ඇතැම් විට මිනිස් මොළය ක්‍රියා කරන්නේ හදවතින් ලැබෙන පණිවිඩ අනුවදැයි අනුමාන කල හැකිය.
අපගේ හැඟීම් නිසා මොළයෙන් හදවතට යවනු ලබන සංඥා වෙනස් කරන අතර හදවත සංකීර්ණ ආකාරයකින් ඒවාට ප්‍රතිචාර දක්වන බව පර්යේෂකයින් පෙන්වා දෙන්නේය. එපමණක් නොව, හදවත මොළයට යවන පණිවිඩ ද ක්‍රියාකාරීත්වයට බලපාන බව ඔවුහු පෙන්වා දෙන්නේය. හදවත, මොළය හා ශරීරය සමඟ ආකාර හතරකින් සන්නිවේදනය කරන බව පැවසේ.
ඉස්ලාමිය ලෝකයේ ප්‍රසිද්ද විද්වතෙකු වන ඉමාම් ගzස්සාලි දක්වන අදහස් අනුව මිනිසාගේ වැදගත්ම හරය වන්නේ සිතයි (Qalb-Self). ඔහු දක්වන අදහස අනුව සිත අධ්‍යාත්මික (spiritual) වස්තුවක් වන අතර එය ශරීරය තුල පවතිමින් භෞතික සහ අධ්‍යාත්මික ක්‍රියාවන් මෙහෙය වන්නේය. සිතට (Qalb) භෞතික හදවත සමග සම්බන්දකමක් ඇති බැවින් එතුමාගේ අදහස අනුව එය හදවත ලෙසද හැඳින්වේ. මෙම ඉමාම් වරයාගේ මතය අනුව ආත්මය අරාබි බසින් සිව් අකාරයකට හඳුන්වනු ලබන්නේය, එනම් කල්බ් (සිත-heart), රූහ් (ආත්මය-soul), නෆ්ස් (desire-nature) සහ අක්ල් (intellect) වශයෙනි. මේ අනුව ආත්මය භෞතික දෙයක් වන්නේ නැත.
මිනිසාගේ ශරීරයට සමානව ඔහුගේ මනසත් රෝගී හෝ නිරෝගී වන්නේය. ඒ අනුව නිරෝගී මනසක් සතුටින් ගත කරන අතර රෝගී මනසක් දුකින් පසු වනු ඇත. කෙසේ වෙතත් සෑම පුද්ගලයෙකුගේම මානසික සුවය එකම ක්‍රමයකට මැනිය නොහැකිය. ඇයිද යත් අප අවට ඇති පරිසරය එක් එක් පුද්ගලයාට විවිධාකාරයෙන් බලපාන නිසාය.
කෙනෙකුගේ මානසික සුවය මැනිය හැකි එක් ක්‍රමයක් වන්නේ ඔහු කොතරම් හොඳින් ජිවත් වන්නේදැයි පිරික්සා බැලීමෙනි. එය කළ හැක්කේ කෙනෙක් කොතරම් සතුටින් ජිවත් වන්නේද, සාමන්‍ය මානසික ආතතියකට ඔරොත්තු දෙන්නේ කෙසේද, යහළු මිත්‍රයන් සමග හැසිරෙන්නේ කෙසේද, ස්වාදීන දිවියක් ගතකරන්නේ කෙසේද, ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කෙසේදැයි පිරික්සා බැලීමෙනි. ඉස්ලාම් දහම අනුව ඇතැමුනට දෙන හොඳ ඔවදන් පිළිකුල් කරන්නේ ඔවුන්ගේ හදවත මිය ගොස් ඇති බැවිනි. නබි වදනකට අනුව ඔවුන් ඇවිදින මල කඳන් වැනිය.
එසේ තිබියදී ඉස්ලාම් දහම පෙන්වා දෙන අන්දමට කෙනෙක් අල්ලාහ්ව මෙනෙකි කිරීමෙන් ඉවත් වන්නේ නම් ඔහුගේ හදවත මිය යන්නේය. එවැනි අය ජිවත් වන්නේ අධ්‍යාත්මික හදවත මිය ගිය වුන් වශයෙනි. ඇතැම් අයගේ හදවත් වලට ඔවුන් කරන වැරදි නිසා අගුලු දමා ඇත. මෙවැනි අයගේ හදවත් ගල් පර්වත මෙන් දැඩි වන්නේය. මිනිස් සිතට සාතන්ගෙන් බලපෑම් කල හැකිය. ඒ අනුව සාතන් මිනිසාගේ මනසට බාහිර අදහස් ඇතුළු කරන්නේය. එහෙත් එම අදහස් ප්‍රතික්ක්‍ෂේප කිරීමේ හැකියාව මිනිසාට ලැබී ඇත. මේ සඳහා දෙවියන්ගේ පිහිට ද පැතිය යුතුය. කෙසේ වෙතත් සාතාන්ගේ අදහස්වලට ඉඩ දීමෙන් මිනිසාගේ මනස ව්‍යාකුල වන අතර දෙවියන් කෙරෙහි විශ්වාසය වැඩි වන තරමට මිනිසාගේ මනස ශක්තිමත් වන්නේය. මේ බව අල් කුරානයේද සඳහන් වේ. අල් කුරානයේ ඇතැම් සිත් පිළිබඳව මෙසේ සඳහන් කොට ඇත. "ඉන් පසුවද ඔබගේ හදවත් දැඩිවිය. එය ගල් පර්වත මෙන් හෝ නැතහොත් ඊටත් වඩා දැඩි විය. (මන්දයත්) සමහර පර්වතවලින් උල්පත් ඇති වී සැමදා ජලය වැහෙන්නේය. තවත් සමහර පර්වත පැලී දෙබෑ වී එයින් ජල දහරා වැහෙන්නේය. ඉන් සමහරක් අල්ලාහ්ට බියෙන් පහලට ඇද හැලෙන්නේය. අල්ලාහ් ඔබ කරන දැය නොදන්නේ නොවේ" (කුරානය 2:74). සිත් දැඩි වීමට බලපාන ප්‍රධන හේතුවක් වන්නේ අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් වැලකි සිටීමත් දහමට පටහැනිව ක්‍රියා කිරීමත් ය. එනම් සාතන්ගේ මාර්ගයේ ගමන් කිරීමය. ඒ අනුව අනවශ්‍ය ලෙස තර්ක කිරීමෙන් සිත් දැඩි වන්නේය. තවද පොරොන්දු කඩ කිරීම බොරු කීම හිත දැඩි විමට බලපාන බව ඉස්ලාමිය විද්වතුන්ගේ අදහස වේ. මෙය මිනිසා ලබන විශාල පාඩුවකි. අල්ලාහ් එය පිළිකුල් කරන්නේය. ඔවුන්ගේ හදවත් අල්ලාහ් මුද්‍රා තබන්නේය.
"(අල්ලාහ්ගෙන්) තමන්ට පැමිණි කිසිම සාදකයක් නොමැතිව අල්ලාහ්ගේ ආයාවන් ගැන (නිකරුනේ) තර්ක කිරීම අල්ලාහ් වෙතද විස්වාස කළ අය වෙතද ඉතාමත් පිළිකුල් සහගතය. මෙසේම ආඩම්බරය හා උඩඟුකම ඇති සෑම කෙනෙකුගේම හෘදයන්හි අල්ලාහ් මුද්‍රා තබන්නේය. (එබැවින් ඔවුන්ට ස්වයංව ඍජු මාර්ගය අත්කර ගත නොහැකි වන්නේය)" (කුරානය 40:35).
කෙනෙකුගේ හදවත මිය යාමෙන් වලක්වා ගැනීමට නම් ඔහු අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කල යුතුය. අල් කුරානය එහි අර්ථය සමග කියවිය යුතුය. එවිට ජීවමාන හදවතක් අහි අය එහි අර්ථය වටහා ගැනීමෙන් කඳුළු සලනු ඇත. බොහෝ අය සත්‍ය දැක දැකත් ඉන් බැහැර වන්නේ ඔවුන්ගේ සිත් දැඩි වීම හේතුවෙනි. එය ඔවුන් මෙලොවදී ලබන ලොකුම දඬුවම වන්නේය. එහි ප්‍රථිපලය වන්නේ මරණයෙන් පසු සදාකල් නිරයට පාත්‍ර වීමය. මේ නිසා මිනිසා කළ යුත්තේ තමන්ගේ උඩඟු කම පසෙක ලා සත්‍යය සොයා යාමය. සත්‍යය දුටු පසු එය පිළිගැනීමට සුදානම් විය යුතුය. ඒ වෙනුවට අනවශ්‍ය තර්කවල යෙදීමෙන් කිසිදිනක විමුක්තිය ලබා ගැනීමට හැකිවන්නේ නැත. 


By Fasy Ajward.

B.Sc (Sp.Phy) Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/