මිනිසාව මවා ඇත්තේ අරමුණකින් තොරව යැයි ඔබ සිතනවාද?

07/05/2020

Do you think that man was created without purpose?)

December 10, 2019 

ඕනෑම නිර්මාණයක් පිටුපස යම් අරමුණක් තිබේ. උදාහරණයක් වශයෙන් පරිගණකයක්, බැකෝ යන්ත්‍රයක්, ඉදිකට්ටක්, නුලක් වැනි ඕනෑම දෙයක් සාදන්නේ යම් කිසි අරමුණක් ඉටු කිරීම සඳහාය. ඒවායින් එම අරමුණ ඉටු නොවේ නම් විනාශ කර දමනු ඇත. දෙවියන්ද අරමුණක් නොමැතිව කිසිම දෙයක් මවන්නේ නැත. දෙවියන් මිනිසාව සහ ජින් වර්ගයාව මවා ඇත්තේ දෙවියන්ව නැමදීම සඳහා ය. ඒ බව ඔහු විසින් පහළ කරනු ලැබූ දේව පණිවිඩයේ සඳහන් කොට ඇත. එම වැකිය පහත දැක්වේ.
"මා ජින්වරුන්ව සහ මිනිසුන්ව මාව නැමදීමට මිස මැව්වේ නැත" (කුරානය 51:56).
මෙම සමුහයන් දෙකින් ඒවා මවන ලද අරමුණු ඉටු නොවේ නම් ඒවා නිරයට දමන බව සඳහන් කොට ඇත. එම නිසා හරි වැරදි තේරුම් ගැනීමට හැකි මිනිසා කල යුත්තේ තම මැවුම්කරුව නිවැරදිව තේරුම් ගෙන ඔහුගේ අණට කීකරුව ජිවත් වීම යි. එසේ නැතහොත් මිනිසාගේ උඩඟු කමට සිදු වන්නේ මරණයෙන් පසු නිරය තෝරාගැනීමට ය. එය මිනිසාගේම වරදින් සිදු කර ගන්නා දෙයකි.
මිහිපිට බොහෝ ජීවින් ඇතත් මිනිසා එහි අද්විතීය ස්ථානයක් උසුලන්නේය. එම නිසා මිනිසාට සෙසු ජීවින්ට මෙන් අරමුණක් නොමැතිව ජිවත් විය නොහැකිය. මිනිසාට පමණක් දහමක් පහළ කොට ඇත. එබැවින් මිනිසා දහම අනුව ජිවත් විය යුතුය. මිනිසා කෙසේ ජිවත් වුවත් අවසානයේදී දෙවියන් හමුවට යා යුතුව තිබේ. ඒ බව පහත දැක්වෙන කුර්ආන් වැකියේ සඳහන් කොට ඇත.
"අපි නුඹළාව නිකමට මැව්වෙමු යැයිද, නියතව නුඹලා අප හමුවට හරවනු නොලබන්නේහු යැයිද සිතාගෙන සිටියෙහුද?" (කුරානය 23:115).
ඉහත දැක්වෙන කුර්ආන් වැකිය අනුව මෙලොව ජිවත් වන සෑම ජීවියෙකුම නැවතත් තම මැවුම්කරු වෙත යා යුතුව තිබේ. එවිට ඔහු සෑම කෙනෙකුගෙන්ම ප්‍රශ්න කිරීමට නියමිතය. එම ප්‍රශ්න කිරීම්වලට නිසි පරිදි පිළිතුරු දීමෙන් පමණන් මරණයෙන් පසු ජිවිතය ජය ගැනීමට හැකි වනු ඇත. දෙවියන්ව ප්‍රතික්ෂේප කල අය එම දිනයේදී කාගේ පිහිට පතන්නේද? විශ්වය මැවූ තවත් දෙවි කෙනෙක් සිටිය හැකිද? මිනිසාට ලැබී ඇති දැනුම අනුව විශ්වයට එක් දෙවි කෙනෙකුට වඩා සිටිය නොහැකිය. එය විද්‍යාත්මක සත්‍යයකි.
එසේ තිබියදී බොහෝ අය මරණයෙන් පසු ජිවිතයට සුදානම් වන්නේ නැත. ඔවුන්ගේ එකම අරමුණ මෙම ජීවිතයේදී උපරිම සතුටින් ගත කිරීම වේ. මේ නිසා ඔවුන් දෙවියන්ගේ නියෝග තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැත. එහෙත් මරණයෙන් පසු ජීවිතය සමග සැසඳීමේදී මෙලොව ජීවිතය අල්ප එකක් බව ඔවුන් තේරුම් ගන්නේ නම් එසේ නොකරනු ඇත. අවාසනාවකට මෙන් දෙවියන්ව විශ්වාස කරන අය පවා දහමින් දුරස්වී සිටිනු දැකිය හැකිය. එහි බැරෑරුම් කම ඔවුන් තේරුම් ගන්නා විට ප්‍රමාද වැඩිය.
By Fasy Ajward 

B.Sc(Sp.Phy) Hons.Japura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/