මුහම්මද් (ﷺ) තුමාණන්ගේ මිහ්රාජ් ගමන

07/05/2020

Night journey of the Prophet Muhammad (ﷺ) 

September 14, 2019 

සෑම නබිවරයෙකුම අල්ලාහ්ගේ උදව්වෙන් ප්‍රතිහාරයන් සිදුකොට තිබේ. නබිවරුන් විසින් සිදු කරන ලද ප්‍රාතිහාරයන් සාමාන්‍ය මිනිසුන්ට කළ නොහැකි ය. එහෙත් නබිවරුන් ඒවා අල්ලාහ්ගේ උදව්වෙන් සිදු කරන්නේය. ප්‍රතිහාරයන් වලදී සාමාන්‍ය භෞතික නීති ක්‍රියාත්මක වන්නේ නැත. එම නිසා ඒවා සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගත නොහැකිය. උදාහරණයක් ලෙස ඉබ්‍රාහිම් නබිතුමාව ගින්නට විසි කල අවස්ථාවේදී ගින්නෙන් ඔහුට කිසිම හානියක් සිදු වුයේ නැත. තවද මුසා නබිතුමා අල්ලාහ්ගේ උදව්වෙන් ඔහුගේ හැරමිටිය නාගයෙකු බවට පත් කර ඇත. තවද එම හැරමිටිය භාවිතා කොට මුහුද දෙබෑ කොට ඔහුගේ අනුගාමිකයින්ව මුහුදෙන් එතෙර කොට ඇත. මේවා සියල්ලම සත්‍ය සිදුවීම් මිස මන්ත්‍ර බලයෙන් කරන දේවල් නොවේ. නබිතුමාගේ මිහ්රාජ් ගමනත් මෙවැනිම ප්‍රාතිහාරයකි. ඒ අනුව නබිතුමා මක්කාවේ සිට ජෙරුසලමටත් ජෙරුසලමේ පිහිටි බයිතුල් මුකද්දිස් සිට අල්ලාහ් වෙතටත් එක් රැයකින් ගොස් පෙරලා පැමිණීම බලගතු ප්‍රතිහාරයකි. මෙම සිදුවීම අල් කුරානයේ පහත සඳහන් පරිදි විස්තර කොට ඇත.
"ශුවිශුද්ධවන්තයා වන ඔහු තම ගැත්තාව මස්ජිදුල් හරාම්හි සිට අවට පරිසරය භාග්‍යවත් කල මස්ජිදුල් අක්සා තෙක් ආශිර්වාද ලත් එම රාත්‍රියෙහි කැඳවාගෙන ගියේ අපගේ සාක්ෂින් පෙන්වීම සඳහාය" (කුරානය 17:1).
මස්ජිදුල් අක්සාහිදී නබිතුමා සෑම නබිවරයෙකුටම නායකත්වය දෙමින් සලාතය ඉටු කර තිබේ. ඉන් පසු ජිබ්‍රිල් දේවදුතයා ස්වර්ගයෙන් රැගෙන පැමිණි බුරාක් නමැති සත්වයාගේ පිටේ නැග අල්ලාහ්ව බැහැ දැකීම සඳහා පිටත්ව ගොස් ඇත. මුහම්මද් (ﷺ) තුමා එම සත්වයාගේ වේගය විස්තර කොට ඇත්තේ ඇසට පෙනෙන දුරට ඌ පිම්ම තබන බවයි.
එම ගමන යන අතර තුර එක් එක් අහසේ නැවතී මිට පෙර මෙලොවට පැමිණි නබිවරුන් වන ආදම්, යහියා, ඊසා නොහොත් ජේසු තුමා, සුසුෆ්, ඉදිරිස්, හාරුන්, මුසා (ඔවුන් සියලු දෙනා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) යන සියලු දෙනා දැක බලාගෙන ඔවුන්ට සලාම් පවසා ඔවුන් සමග කතා බහ කොට ඇත. අවසානයේදී අල්ලාහ් වෙත ගොස් තිබේ. එම ගමනේදී නබිතුමාට බයිතුල් මාමුර් දේවස්ථානය, ස්වර්ගය සහ නිරය දැක ගැනීමට ලැබී තිබේ. නබිතුමා ආපසු පැමිණෙන විට පංච කල සලාතය සහ සුරා බකරාහි අවසාන වක්ක්‍යය ද රැගෙනවිත් ඇත.
මිහ්රාජ් ගමන සිදුවූ දිනය සම්බන්දයෙන් ඉස්ලාමිය විද්වතුන් අතර විවිධ මත පලවී ඇත. අත් තබරි තුමා පවසන්නේ එය නබිත්වය සිදු වූ වසරේම සිදුවූ බවයි. නවවි සහ අල් කුර්තුබි යන දෙදෙනා පවසන්නේ එය නබිත්වයෙන් වසර 5 කට පසුව සිදුවූ බවයි. ඊට අමතරව තවත් බොහෝ මතයන් ප්‍රකාශ වී තිබේ.
මිහ්රාජ් ගමන ගොස් පැමිණි නබිතුමා පසුවදා අවදි වුයේ විශාල කනස්සල්ලකිනි. ඊට හේතුව මක්කා වාසින් එය විශ්වාස කරයිදෝ නොකරයිදෝ යන බිය නිසාය. එසේ තිබියදී ඔහුගේ එදිරිවාදියෙක් වූ අබු ජහිල් නබිතුමා අසලින් යමින් සිටියදී නබිතුමාව දැක "අළුත් යමක් නැද්දැයි" අපහාසාත්මකව විමසා ඇත. එවිට නබිතුමා අළුත් සිදුවීමක් ඇතැයි පවසමින් මිහ්රාජ් ගමන ගැන සැලකොට තිබේ. අබු ජහිල් මෙය විශ්වාස නොකළත් එම පුවතට ඉතා ඕනෑකමින් සවන් දී තිබේ. ඉන් පසු නබිතුමා ඔහුට පවසා සිටි දේවල් අනෙක් අය ඉදිරියේත් මේ අකාරයටම පැවසිය හැකි දැයි නබිතුමාගෙන් විමසා ඇත. ඊට නබිතුමා 'ඔව්' යැයි පිළිතුරු දුන් විට අබු ජහිල් ඔහුගේ සගයන් එම ස්ථානයට කැඳවාගෙන ඇවිත් තිබේ. අනතුරුව නබිතුමා ඔවුන්ටත් එම මිහ්රාජ් ගමන පිළිබඳව සියලු විස්තර පවසා ඇත. ඊට සවන්දුන් අබුජහිල්ගේ සගයින් මහා හඬින් සිනාසී නබිතුමාට අපහාස කොට ඇත. පසුව නබිතුමා පවසන දේ සත්‍යදැයි පරික්ෂා කිරීම සඳහා ඔහුගෙන් ජෙරුසලමේ පිතිටි දේවස්ථානය ගැන විස්තර අසා තිබේ. ඔවුන් අසන සෑම ප්‍රශ්නයකටම නබිතුමා ඉතා නිවැරදිව පිළිතුරු දීම නිසා ඔවුන්ට කිසිවක් කර කියා ගත නොහැකිව එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ. කෙසේ වෙතත් ඉන් නොනැවතුනු අබුජහිල් නබිතුමාව බොරු කාරයෙක් කිරීම සඳහා නබිතුමාගේ හිත මිත්‍ර අබු බක්කර් රලි තුමා වෙත ගොස් මිහ්රාජ් ගමන ගැන සැලකොට ඇත. එවිට අබුබක්කර් රලි තුමා අබුජහිල් ඇතුළු පිරිසගෙන් මෙම කරුණු මුහම්මද් (ﷺ) තුමා පැවසුවාදයි ප්‍රශ්න කොට තිබේ. ඊට "ඔව්" යැයි ඔවුන් පිළිතුරු දුන් විට අබුබක්කර් රලි තුමා කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව නබිතුමා පවසන දේ සත්‍යයක් බව පිළිගෙන තිබේ. එතැන් පටන් අබු බක්කර් රලි තුමාට සිද්දීක් යන නම පට බැඳුනේය.
කිසිම නබිවරයෙකුට නබිතුමාට ලැබුණු මෙවැනි අකාරයේ ප්‍රාතිහාරයක් ලැබ නොමැත. තවද නබිතුමාට පහළ වූ අල් කුරානයද සුවිශේෂී ප්‍රතිහාරයකි. එය අදටත් ප්‍රතිහාරයක් ලෙසම පවතී. කිසිම් දිනක නබිතුමා ජෙරුසලමට ගොස් නොමැතිව සිටියේදී ඔහුගේ සතුරන් අසන ලද ප්‍රශ්නවලට ඉතා නිවැරදිව පිළිතුරු දීම සුවිශේෂී කරුණකි.

By Fasy Ajward. 

B.Sc(Sp.Phy)Hons.J.Pura.වැනEx: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/