ෂරියා නීතිය යනු කුමක්ද?

07/05/2020

What is Sharia Law?)

December 20, 2019 

ඉස්ලාම් යනු අල්ලාහ්ගේ කැමැත්තට සම්පුර්ණයෙන්ම යටත් වීම යි. ඒ අනුව මුස්ලිම්වරයෙකුගේ සෑම දෙයක්ම අල්ලාහ්ගේ කැමැත්තට යටත් විය යුතුය. තමන්ගේ කැමැත්ත අනුව ජිවත් වීම ඉහත සඳහන් කල අර්ථ දැක්වීම අනුව ඉස්ලාම් නොවේ.
ෂරියාව සකස්වන්නේ අල්-කුරානය සහ මුහම්මද් නබිතුමාගේ ඉගැන්වීම් ඇසුරෙනි. මුස්ලිම්වරයෙකුගේ සම්පුර්ණ ජිවිතයම එමගින් ආවරණය කර ඇත. ඒ අනුව මුස්ලිම්වරයෙකුට ශරියාවෙන් තොර ජිවිතයක් නොමැත. එහෙත් මෙවැනි තත්වයක් වෙන කිසිම දහමක දැකිය නොහැකිය. මේ හේතුවෙන් බොහෝ අය ෂරියා ක්‍රමයේ ඇති වැදගත්කම නිවැරදිව තේරුම් ගෙන නැත.
ෂරියා නීති කොටස් දෙකකට බෙදිය හැකිය.

  • මිනිසා විසින් අල්ලාහ් වෙනුවෙන් කල යුතු දේවල් සහ
  • මිනිසා විසින් මිනිසාට කල යුතු දේවල් වශයෙනි

පළමු කාණ්ඩයට උදාහරණ වන්නේ සලාතය, උපවාසය, සකාත් සහ හජ් ය. අනෙක් සමාජ සත්කාරයන් සියල්ලම මිනිසා මිනිසාට කල යුතු දේවල් ය. ෂරියා නීතියෙන් දඬුවම් නියම කොට ඇත්තේ මිනිසා මිනිසාට කරන වැරදි සම්බන්දයෙන් පමණි. මිනිසා අල්ලාහ්ට කල යුතු දේවල් සඳහා නිශ්චිත දඬුවම් මෙලොවදී නියම කොට නැත. ඒ අනුව ඒවා මිනිසාගේ මරණයෙන් පසුව ඇති විනිශ්චය දිනයේදී ප්‍රශ්න කිරීමට නියමිතය.
ෂරියාව ගැන නිවැරදිව අවබෝද කර නොගත් අය සිතන්නේ එය මුස්ලිම් නොවන සමාජයට තර්ජනයක් බවයි. එය සම්පුර්ණයෙන්ම වැරදි මතයකි. ඉස්ලාම් දහමින් ඉස්ලාම් නොවන කිසිවෙකුට බලපෑම් කරන්නේ නැත. කුරානයේ ඇති බොහෝ වැකිවලින් එම අදහස පැහැදිලි කොට ඇත.
ඉස්ලාම් දහමේ මුලික පරමාර්ථය මිනිස් වර්ගයාට නිවැරදි දහම් මාර්ගය පෙන්වා දීම ය. එහෙත් ඒවා පිළිපැදීම සඳහා කිසිවෙකුට බලපෑම කරන්නේ නැත. උදාහරණයක් වශයෙන් මුස්ලිම්වරුන් හලාල් අහාර පමණක් අනුභව කරන්නේ ඒවා ශරීරයට හිතකර නිසාය. හරාම් අහාර අනුභව නොකරන්නේ ඒවා ශරීරයට හානිකර නිසාය. එසේම මුස්ලිම් කාන්තාවන් පිටස්තර පිරිමින් ඉදිරියේදී තම ශරීරය ආවරණය කරන්නේ ඔවුන්ගේ ආරක්ෂව සහ පිටස්තර අයගේ රාගය නො ඇවිස්සීම සඳහාය. මෙය මුස්ලිම්වරුන් ස්වෙජ්ජාවෙන් කරන දෙයක් මිස කිසිවෙකුගේ බලපෑමකට කරන දෙයක් නොවේ.
ඉස්ලාමිය දණ්ඩ නීතිය සකස් වී ඇත්තේ මිනිසුන්ගෙන් සිදු විය හැකි වැරදි අවම කිරීම සඳහාය. ඒවා ක්‍රියාත්මක වන රටවල් වල වැරදි කරන අයගේ විශාල අඩුවක් දැකිය හැකිය. කෙසේ වෙතත් එම නීති ක්‍රියාත්මක කල හැක්කේ ඉස්ලාමිය රාජ්‍යයක් තුල දී පමණි. ඒ අනුව සෞදි රජය තුල සම්පුර්ණ ෂරියා නීති ක්‍රියාත්මක වේ. ඉස්ලාම් නොවන රටවල් වල ක්‍රියාත්මක වන්නේ එදිනෙදා ජිවිතය තුල පිළිපැදිය යුතු දේවල් පමණි.
මුස්ලිම් නොවන අයගේ දැනගැනීම සඳහා ෂරියා නීතියේ සහ ෂරියා නොවන නීතිවල ඇති ඇතැම් ප්‍රධාන වෙනස්කම් කිහිපයක් මෙහි පහත විස්තර කොට ඇත.
මිනිස් ඝාතන සඳහා ෂරියා නිතිය :
ඉස්ලාම් නොවන නීතිය අනුව මිනිස් ඝාතකයෙකුට එල්ලුම් ගස හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කෙරේන්නේය. ඒ අනුව එම නීතියට අනුව සමාවට ඇති ඉඩ බෙහෙවින් සිමා වන්නේය. එහෙත් ෂරියා නිතිය අනුව මිනිස් ඝාතකයෙකුට අවස්ථාවන් තුනක් හිමි වේ. ඒ අනුව වරද සිදු කල අයගෙන් සමාව ඉල්ලා සිටිය හැකිය. ඒ අනුව ඔහුට සමාව ලැබුනේ නම් නිදහස් විය හැකිය. එම පියවර අසාර්ථක වුයේ නම් වන්දියක් ගෙවා නිදහස පැතිය හැකිය. මෙම අවස්ථාවන් දෙකම අසාර්ථක වුයේ නම් පමණක් ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු වන්නේය.
විවාහය:
ඉස්ලාම් නොවන නිතිය අනුව ඕනෑම කෙනෙකු සමග විවාහ විය හැකි මුත් ෂරියා නිතිය අනුව අල්-කුරණයෙන් තහනම් නොකළ අය සමග පමණක් විවාහ විය හැකිය. මිට හේතු රාශියක්ම ඇත. විශේෂයෙන්ම මෙම නිතිය පැනවීමෙන් පවුලේ දිගු කාලින සමගිය සහ ලැබීමට නියමිත දරුවන්ගේ දහම ගැන පැන නැගිය හැකි ගැටළු අවම කල හැකිය. අනෙක් කරුණ වන්නේ ඉස්ලාම් නොවන විවාහ ක්‍රම අනුව මනාලිය විසින් මනාලයාට දැවැද්ද දිය යුතුය. එහෙත් ඉස්ලාම් නිතිය අනුව මනාලයා විසින් මනාලියට අනිවාර්යෙන්ම දැවැද්ද හෙවත් මහර් දීමනාව ගෙවිය යුතුය. තවද ඉස්ලාම් නිතිය අනුව විවාහය සඳහා භාරකරුගේ අනුමැතිය ලබා ගත යුතුය. කෙසේ වෙතත් කාන්තාවකගේ අනුමැතිය නොමැතිව විවාහය සිදු කල නොහැකිය. ඉස්ලාමිය විවාහයක් අවම වශයෙන් සාක්ෂි කරුවන් දෙදෙනෙකු ඉදිරි පිට සිදු විය යුතුය. ඒ අනුව කාන්තාවකගේ ආරක්ෂාව හොඳින් තහවුරු වන්නේය.
බහු විවාහය:
ෂරියා නීතියෙන් කොන්දේසි සහිතව විවාහ හතරක් සිදු කිරීමට අවසර ලබා දී තිබේ. එහෙත් එම කොන්දේසි ඉටු කිරීමට නොහැකි අයට මෙම අවස්ථාව හිමිවන්නේ නැත. තවද, නොයෙකුත් හේතුන් නිසා ලෝකයේ වැඩිවීගෙන යන කාන්තා ප්‍රතිශතය සඳහා ලබා දිය හැකි හොඳම විසඳුම බහු විවාහයයි.
කාමය වරදවා හැසිරීම:
ෂරියා නීතියට අනුව කාමය වරදවා හැසිරීම උසාවියකදී තහවුරු කළහොත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබේ. එහෙත් කුරානයට අනුව මේ සඳහා ඇසින් දුටු ශාක්ෂි සතරක් අවශ්‍යය. මෙම අවශ්‍යතාව ප්‍රයෝගික වශයෙන් ඉටු කිරීම පහසු නොවන නිසා එම දඬුවම ක්‍රියාත්මක කළ හැක්කේ කාමය වරදවා හැසිරුණු පුද්ගලයින් විසින් ස්වෙජ්ජාවෙන් එම වරද පිළිගන්නේ නම් පමණි.
ඇඳුම:
මිනිසාගේ යහපත උදෙසා ෂරියා නීතියෙන් මුස්ලිම්වරුන්ට ඇඳුමේ සීමාවන් නියම කොට තිබේ. ඒ අනුව ඉස්ලාම් නිතිය පවතින සමාජවල කාන්තා හිංසනයන්වල විශාල අඩුවක් දැකිය හැකිය. එහෙත් වෙනත් බොහෝ ආගම්වල පැහැදිලි ඇඳුම් ක්‍රමයක් නොමැති නිසා ඇතැම කාන්තවන් බිකිනිය සමග දැකිය හැකිය. එය සමාජයේ යහ පැවැත්මට විශාල තර්ජනයක් බව අමුතුවෙන් කිව යුතු නැත.
සොරකම:
ඉස්ලාම් දහම අනුව සෑම සොරෙකුගේම අත කපන්නේ නැත. ඒ අනුව දහමින් සිමා කොට ඇති වටිනාකම ඉක්මවූ භාණ්ඩයන් සඳහා පමණක් අත කැපීමට ශරියාවෙන් නියම කොට ඇත. එහෙත් ඉස්ලාම් නොවන සමාජවල සුළු දේවල් වලට පවා මිනි මැරුම් සිදු වන අවස්ථා දැකිය හැකිය. ඒ අනුව බලන කල සොරකම් කල පාර්ශවයන්ට ශරියාවෙන් නියම කොට ඇත්තේ සාදාරන දඬුවමකි.
යුද්ධය:
ෂරියා නීතිය අනුව සතුරා යුද්ධය ආරම්භ කළහොත් පමණක් ඊට ප්‍රති ප්‍රහාරය එල්ල කිරීමට අවසර ලබා දී තිබේ. එවැනි අවසරයක් නොතිබුනේ නම් සතුරු ආක්‍රමණයකදී කල යුත්තේ කුමක්ද?
ආගමික නිදහස:
ඉස්ලාම් දහම තුල බල කිරීමක් නොමැත. ඒ අනුව ඕනෑම කෙනෙකුට තමන් කැමති දහමක් පිළිපැදීමට අවසර තිබේ. කෙසේ වෙතත් ඉස්ලාම් දහමින් මිනිසාට සත්‍යය පැහැදිලි කොට දී තිබේ. එය පිළිගැනිම හෝ පිලි නොගෙන සිටීම මිනිසාට ලැබී ඇති ආගමික නිදහස වේ.

By Fasy Ajward. 

B.Sc (Sp.Phy) Hons.Jpura,Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/Twiter:- thetrue_path