සත්ව කරුණාව සහ ඉස්ලාමය

07/05/2020

Animal kindness and Islam

January 14, 2020 

ඉස්ලාම් දහම මිනිසාට පමණක් නොව සෑම සතා සිව්පාවෙකුටම කරුණාව දැක්වීමට උගන්වා ඇත. එහෙත් ස්වභාවික නීති වලට පිටුපාමින් අහාරය පිණිස සතුන් ඝාතනය කිරීම වලක්වා නොමැත. ලෝකයේ ඇති ආහාර දාමයන් ගැන සලකා බැලීමේදී ඒවා සැකසී ඇත්තේ ද එක් ජීවියෙක් තවත් ජීවියෙකුගේ ගොදුර කරගන්නා ආකාරයටය. මේ නිසා සත්ව ඝාතනයට එරෙහි වීමෙන් සිදු වන්නේ මාංශ බක්ෂක සතුන්ට නිරාහාරව සිට මිය යාමටය. කෙසේ වෙතත් සර්ව බක්ෂක සත්වයින්ට පමණක් විකල්පයක් තෝරාගත හැකිය. මේ හේතුවෙන් ලෝකයේ ඇති අහාර දාමයන්ට ඉස්ලාම් දහම එරෙහි වන්නේ නැත.
මිනිසාගේ අහාර ජීරණ පද්දතිය ගැන සලකා බැලීමේදී ඔහුගේ දත් සහ ජීරණ පද්දතිය සැකසී ඇත්තේ මාංශ සහ ශාක ජීර්ණය කල හැකි ආකාරයට ය. ඒ අනුව මිනිසාට අවශ්‍ය නම් පමණක් තමන් කැමති ආහාරයක් තෝරා ගැනීමට හැකිය. එහෙත් නීතියකින් මිනිසාට මාංශ අනුභව කිරීම තහනම් කිරීමෙන් සිදු වන්නේ ස්වභාවික නීතිවලට පිටු පෑමකි. තවද, නවීන විද්‍යාව අනුව ශාක වලට ජීවයක් ඇති බවත් ඒවාට වේදනාව දැනෙන බවත් සොයාගෙන තිබේ. ඒ අනුව මිනිසාට මාංශ තහනම් කොට ශාක ආහාරයට ගැනීමට බල කිරීමෙන්ද ප්‍රයෝජනයක් නොමැත. මේ නිසා මිනිසාගේ කැමැත්ත අනුව මාංශ හෝ ශාක අහාර ගැනීමේ නිදහස තිබිය යුතුය.
අල්කුරානයට අනුව ඇතැම් සතුන් මවා තිබෙන්නේ විශේෂ හේතුන් මතය. ඒ අනුව අශ්වයා, ඔටුවා, ගවයා වැනි සතුන් මිනිසාගේ ප්‍රවාහන කටයුතු සඳහා මවා තිබේ. ඒ අතරම ඔටුවා සහ ගවයා වැනි සතුන්ගෙන් මිනිසා කිරි ද ලබා ගන්නේය. එසේම උන් අහාරය පිණිස ද යොදා ගැනේ. කෙසේ වෙතත් නිකරුනේ සතුන්ට හිංසා කිරීම ඉස්ලාම් දහම කිසිසේත්ම අනුමත කරන්නේ නැත. මේ නිසා සත්වයින්ට ඉසිලිය හැකි බරට වඩා වැඩි බරක් උන්ගේ පිට මත පැටවීම නබිතුමා අනුමත කලේ නැත. එපමනක් නොව සත්වයින්ගේ පිටේ වාඩිවී වැඩි වෙලාවක් කතා කරමින් සිටි සහාබි වරයෙකුව දුටු නබිතුමා ඔහුට අවවාද කළේය.
එක් දිනක් නබිතුමා සිය අනුගාමිකයින් සමග ගමනක් යමින් සිටි අතර වාරයේදී වෙනත් කටයුත්තක් සඳහා පිටත්ව ගොස් ඇත. ඔහු එම කටයුත්ත අවසන් කොට නැවත පැමිණි විට දක්නට ලැබී ඇත්තේ සහාබාවරු එහි සිටි මව් කිරිල්ලියගෙන් උගේ පැටවුන් දෙදෙනෙකු උදුරාගෙන සිටීමය. එම අවස්ථාවේදී මව් කිරිල්ලී උගේ පැටවුන් දෙදෙනා නැතිවුණු ශෝකයෙන් අහසේ පියාසර කරමින් සිට ඇත. එම සිද්ධිය දුටු නබිතුමා 'මෙම කිරිල්ලීට වේදනාව ගෙන දෙන මේ ක්‍රියාව කලේ කව්දැ'යි විමසා බලා වහාම එම කුරුළු පැටවුන් නිදහස් කරන ලෙස නියෝගකොට තිබේ (සහිහ් මුස්ලිම්). තවත් අවස්ථාවකදී නබිතුමා ඔහුගේ අනුගාමිකයින් අමාතා, "යම්කිසිවෙකු සෙල්ලමට හෝ ගේ කුරුල්ලෙකු මරා දැමුවේ නම්, එම ගේ කුරුල්ලා විනිශ්චය දිනයේදී, 'දෙවියනි! මොහු නිකරුනේ මාව මරා දැමුවා! ඔහු කිසිම වැදගත් කමකට මාව මැරුවේ නෑ' යනුවෙන් පවසන බව දැනුම් දුන්නේය. (සුනන් අන් නිසායි). තවත් හදිසයක දැක්වෙන අන්දමට බනී ඉස්රායිල්වරුන්ට අයත් කාන්තාවක් බළලෙකුට නිදැල්ලේ යන සතුන් ආහාරයට ගැනීම වළක්වාලමින් ඌ සිරකොට තැබීම හේතුවෙන් එම බළලා කුසගින්නෙන් මිය ගොස් ඇත. මේ නිසා එම කාන්තාව කොතරම් පින් දහම් කර තිබුනත් නිරයට යන බව නබිතුමා පැවසුවේය. මේ සෑම දෙයකින්ම පැහැදිලි වන්නේ පින් දහම් කලත් සතුන්ට හිංසා කිරීමෙන් දෙවියන්ගේ කෝපයට පාත්‍ර වන බව යි.
ඉස්ලාම් දහම සත්ව ඝාතනයට ඉඩ හැර නොතිබුනේ නම් වෛද්‍ය විද්‍යාව මහත් දුෂ්කර තත්වයන්ට මුහුණ පෑමට ඉඩ තිබුනේය. විද්‍යාවේ දියුණුවත් සමග ලෙඩ රෝග වලට හේතුව ක්ෂුද්‍ර ජීවින් බව සොයාගෙන තිබේ. මේ නිසා කෙනෙකුට රෝගයක් සැදුනු විට එම ක්ෂුද්‍ර ජීවින් සිය ලක්ෂයකට වඩා විනාශ කිරීමට සිදු වන්නේය. සතා කුඩා වුනත් ඌට ඇත්තේ ද ප්‍රානයකි. එසේ තිබියදී ඉස්ලාම් දහම සත්ව ඝාතනය තහනම් කොට තිබුනේ නම් තත්වය කුමක් විය හැකිද? එසේම ප්‍රාණ ඝාතනය පවක් නම් සතුරු ආක්‍රමණයකදී කුමන තීරණයක් ගැනීමට සිදු වන්නේද?

By Fasy Ajward.B.Sc(Special)Hons.Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/