සාතන් කව්ද? ඔහුගේ අරමුණ කුමක්ද?

07/05/2020

Who is Satan? What is his purpose?)

November 22, 2019 

සාතන් මිනිසාගේ ප්‍රකට සතුරෙක් බව අල්-කුරානයේ සහ කුරානයට පෙර පහළ වූ ආගම් පුස්තකවල සඳහන් වේ. කුරානයේ සාතන්ට ඉබ්ලිස් යනුවෙන්ද ආමන්ත්‍රණය කොට ඇත. මිනිසාව මැවීමට පෙර සාතන්ව මවා තිබුනේය. සාතන්ව මවා තිබෙන්නේ ගින්නෙන් ය. සාතන්ටත් මිනිසාට මෙන්ම තමන් කැමති තීරණයක් ගැනීමට හැකිය.
ආදම් තුමාව මවන විටත් සාතන් ස්වර්ගයේ සිටියේය. සාතන්ගේ විශේෂත්වයක් වන්නේ ඔහුට නොයෙකුත් හැඩ හුරු ගැනීමට හැකි වීමය. තවද මිනිස් ඇසට නොපෙනෙන පරිදි සාතන්ට පැමිණිය හැකිය. සාතන්ට මිනිස් සිත් තුලට කොඳුරා අදහස් ඇතුලත් කල හැකිය.
සාතන් දේවදුතයින් අතර ප්‍රධාන තැනක් හොබවා ඇත. එසේ තිබියදී අල්ලාහ් විසින් මුල්ම මිනිසා වන ආදම් තුමාව මැව්වේය. ඉන් පසු ආදම් තුමාට ගෞරව දැක්වීම පිණිස ඔහුට සුජුද් (නමස්කාර) කරන ලෙස දේවදුතයින් හට නියෝග කළේය. සාතන් හැර අන් සියළුම දෙවදුතයින් එම නියෝගයට හිස නැමුවෝ ය. එවිට අල්ලාහ් ඉබ්ලිස්ගෙන් මෙසේ ප්‍රශ්න කොට ඇත.
"මා අණ කල කල්හි නුඹ සුජුද් නොකර සිටීමට හේතුව කුමක්දැ"යි (අල්ලාහ් ඉබ්ලිස්ගෙන්) ඇසු කල්හි, ඉබ්ලිස්: 'මා ඔහුට වඩා උසස් වන්නෙමි, නුඹ මාව ගින්නෙන් මවා ඇති අතර ඔහුව කිරි මැටියෙන් මවා ඇතැ'යි පැවසුවේය"(කුරානය 7:12).
සාතන්ගේ පසු බෑමට ප්‍රධානතම හේතුව වුයේ ඔහුගේ උඩඟු කමය. ඒ අනුව ඔහු වැරදි කල පසු දෙවියන්ගෙන් සමාව අයදිනු වෙනුවට ඔහුගේ ලොකු කම කතා කළේය. මේ නිසා සාතන්ව ස්වර්ගයෙන් නෙරපන ලදී.
"(අහෝ ඉබ්ලීස්) මෙම (සවර්ගයෙන්) නුඹ බැස යනු, උඩඟුකම පෙන්වීමට මෙය තැන නොවේ. එහෙයින් පිටවනු, නියතව නුඹ නිචත්වයට පත්වූවන්ගෙන් කෙනෙකු වන්නෙහිය" (කුරානය 7:13).
සාතන් ස්වර්ගයෙන් පිටවන අවස්ථාවේදී පහත දැක්වෙන ප්‍රතිඥාව දෙන ලදී.
"නුඹ මාව නොමගෙහි යැවු හේතුවෙන් ඔවුන්ට එරෙහිවෙමින් නුඹගේ ඍජු මාර්ගයෙහි මා හිඳ ගනිමි, පසුව ඔවුන්ගේ ඉදිරිපසින්ද පිටුපසින්ද, ඔවුන්ගේ දකුණු පසින්ද වම් පසින්ද ඔවුන් හමුවට පැමිණෙන්නෙමි, එවිට ඔවුන්ගෙන් වැඩිදෙනෙකුව ස්තුතිවන්තයින් ලෙස නුඹ නොදකින්නේහි යැ'යි පැවසිය" (කුරානය 7:16-17).
මේ වන විට සාතන් ඔහුගේ ප්‍රතිඥාව ඉටු කරමින් සිටින්නේය. මිනිසුන්ගෙන් බොහෝ අය සාතන්ගේ මුලාවට හසුවී ඇත. කෙසේ වෙතත් සාතන් මිනිසාගේ පරම සතුරා බව ආදම් තුමාගේ සිටම අනතුරු හඟවා තිබේ.
"ඕ:ආදම්! 'නියතවශයෙන්ම මොහු නුඹටද, නුඹගේ බිරියටද සතුරෙක් වන්නේය. එබැවින්, ඔහු නුඹලා දෙදෙනාව මෙම ස්වර්ගයෙන් පිටමං කිරීමට ඉඩ නොතබනු. එසේ වුයේ නම් නුඹ අභාග්‍යයවන්තයෙකු වනු ඇතැ'යි අපි පැවසුවෙමු" (කුරානය 20:117).
මෙම අනතුරු හැඟවීම කර තිබියදීත් ආදම් තුමා සාතන්ගේ උගුලට හසු විය. එම නිසා ඔවුන් දෙදෙනාව ස්වර්ගයෙන් පහ කළේය. කෙසේ වෙතත් මිනිසාට අල්ලාහ්ගෙන් නිවැරදි මාර්ගය පෙන්වා දෙමින් දහම් පණිවිඩ පහළ විය. ඒ සෑම දහම් පණිවිඩයකින් ම සාතාන් ගැන අනතුරු හඟවා තිබේ.
"විශ්වාසවන්තයිනි! නුඹලා පුර්ණ ලෙස ඉස්ලාමය තුලට පිවිසෙනු. සාතන්ගේ අඩි පාරවල් නොපිලිපදිනු. නියතවශයෙන්ම ඔහු නුඹලාගේ ප්‍රකට සතුරාය" (කුරානය 2:208).
මෙතරම් අවවාද අනුසාසනා කර තිබියදීත් මිනිසුන්ගෙන් අති බහුතරය සානන්ගේ අඩිපාරේ ගමන් කිරීම නිසා ලොව වැරදි වලින් පිරි ගොස් ඇත. මේ අනුව සාතන් කලින් දුන් ප්‍රතිඥාව ඉටු වෙමින් තිබේ. සාතාන් ද මිනිසාව මුලාවට පත් කරමින් ඇත. එහෙත් විනිශ්චය දිනයේදී සාතන් මෙසේ පවසනු ඇත:
"විනිශ්චය දෙනු ලැබූ කල, (සාතන් මෙසේ පවසනු ඇත) 'නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට සත්‍ය පොරොන්දුවක් දුන්නේය. මමද නුඹලාට පොරොන්දුවක් දුන්නෙමි; එහෙත් මම නුඹලාට ද්‍රෝහී වුයෙමි. මට හැකි වුයේ ඔබලාව ඇරයුම් කිරීමට මිස වෙනත් කිසිවක් සඳහා බලයක් තිබුනේ නැත, එහෙත් නුඹලා මට ප්‍රතිචාර දැක්වූයේය. එම නිසා මට දොස් නොකියනු, ඒ වෙනුවට ඔබලා නුඹලාට ම දොස් පවරාගනු. මට දැන් නුඹලා වෙනුවෙන් උදව් කල නොහැකිය. ඔබලාටද මා වෙනුවෙන් උදව් කල නොහැකිය. නුඹලා මිට ඉහතදී මාව අල්ලාහ් සමග සම කිරීම මා ප්‍රතික්ෂේප කරමි. ඇත්ත වශයෙන්ම වැරදිකරුවන්ට හිංසාකාරී වේදනාවක්ම ඇත" (කුරානය 14:22).
මේ නිසා මිනිසා වැරදි කරන්නේද නිරයට යන්නේද මිනිසාගේම වැරදි නිසාය. මිනිසාට අවශ්‍ය නම් සාතන්ගේ මාර්ගය පිලි නොපැද නබිවරුන් විසින් පෙන්වා දෙන ලද නිවැරදි මාර්ගය පිළිපැදිය හැකිය. එහෙත් බොහෝ අය තාවකාලික සතුට වෙනුවෙන් නිමක් නොමැති ස්වර්ගය අහිමි කර ගනිති.
By Fasy Ajward. 

B.Sc(Sp.Phy) Hons.J. Pura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislam
https://truepath1.blogspot.com/

"සාතන්ගේ අඩි පාරවල් නොපිලිපදිනු. නියතව ඔහු නුඹලාට ප්‍රකට සතුරා වේ - කුරානය