සොබාදහම සහ දෙවියන්

07/05/2020

Nature and God

November 04, 2019 

ඉර පායා බැස යන්නේය, දේශගුණික විපර්යාසයන් සිදුවන්නේය, බීජයකින් පැල හටගන්නේය. මෙවැනි අසීමිත සිදුවීම් විශ්වය පුරා දැකිය හැකිය. බොහෝ අය මේවා හඳුන්වන්නේ සොබාදහමේ ක්‍රියාවලියන් ලෙසය. එහෙත් මේවා පිටුපස ඇති බලය කුමක්දැයි බොහෝ අය සිතා බලන්නේ නැත. එබැවින් එය අර්ථදැක්වීමකට පමණක් සිමා වී තිබේ. කෙසේ වෙතත් කුරානයේ ඇති ඇතැම් කරුණු දෙස බැලීමේදී එම සිදුවීම් අල්ලාහ්ගේ නියෝගයක් බව පැහැදිලි වන්නේය. එක් අවස්ථාවකදී ඉබ්‍රාහිම් නබිතුමාව විශාල ගින්නක් තුලට විසි කරන ලද අවස්ථාවේදී අල්ලාහ් ගින්නට ඍජුවම නියෝග කරමින් ඉබ්‍රාහිම් නබිතුමා කෙරෙහි ශාන්තිය දක්වන ලෙස නියෝග කළේය. ගින්නද එය ඉටු කල අතර ඉබ්‍රාහිම් නබිතුමා කිසිම පිලිස්සිමකින් තොරව ගින්නෙන් පිටතතට පැමිණියේය. සොබාදහම යනු අල්ලාහ්ගේ නියෝගයන් බව ගෙන හැර දැක්වීමට මෙය එක් උදාහරණයක් පමණි. තවත් අවස්ථාවකදී එක් නබිවරයෙක් විනාශයට පත්වූ නගරයක් හරහා යන අවස්ථාවේදී එම නගරය නැවත ගොඩ නගන්නේ කෙසේදැයි අල්ලාහ්ගෙන් විමසු විට ඔහුව වසර ගණනාවක නින්දකට පත් කළේය. ඔහු නැවත අවදි වී බලන විට දක්නට ලැබුනේ ඔහු ගමන් කල බුරුවාගේ දිරා ගිය ඇටසැකිලි පමණි. එහෙත් ඔහු ගෙන ගිය ආහාර වලට කිසිම දෙයක් සිදු වී තිබුනේ නැත. තවද ඔහු නිදා සිටි කාලය ගැන ඔහුගෙන් විමසනු ලැබූ විට ඔහු පවසා ඇත්තේ දවසක් හෝ ඉන් කොටසක් ලෙසය. මින් පැහැදිලි වන්නේ කාලය අල්ලාහ්ගේ නියෝගය අනුව තුන් ආකාරයකට ක්‍රියා කොට ඇති බවයි. මින් පැහැදිලිවන්නේ සොබාව දහම යනු අල්ලාහ්ගේ නියෝගයන් බවයි.
වාහනයක්, ගුවන් යානයක්, පරිගණයක් වැනි දේවල් ඉබේ ඇතිවන්නේ නැත. ඒවා සැදීම සඳහා දැනුම ඇති උදවිය සිටිය යුතුය. එසේ නම් ඊට වඩා ඉතා සංකීර්ණ ගස් කොලන්, සතා සිව්පාවන්, ගංගා ඇල දොළ ඉබේ ඇති විය හැකිද? මිනිසා විසින් සාදන ලද ඉතා උසස් නිර්මාණයක් වන පරිගණකය පවා තවත් කෙනෙකුට සෑදීමට හැකිය. එහෙත් දෙවියන් මවන ලද ලේ බිඳක් හෝ වෙන යමක් කිසිවෙකුට නිර්මාණය කළ නොහැකිය. එසේ තිබියදී ඒවා කිසිවෙකුගේ නිර්මාණයක් නොවේ යැයි කියන්නේ කෙසේද? ඇත්ත වශයෙන්ම ඒවා සර්වබලධාරී දෙවියන්ගේ මැවීම් වන්නේය.
බීජයක් පසෙහි දැමු විට එය දිරා නොගොස් පැලයක් හට ගන්නේ ඒ සඳහා යම් සැලසුමක් තිබෙන නිසාය. එවැනි දෙයක් ලොව වෙසෙන සියළුම විද්‍යාඥයින් එකතුවී උත්සාහ කලත් සිදු කල නොහැකිය. එසේ නම් එවැනි සංකීර්ණ නිර්මාණයක් දෙවියන්ගේ ක්‍රියාවක් නොවේ යැයි කිව හැකිද? ඇත්ත වශයෙන්ම විශ්වය සහ එහි ඇති සියළුම දේවල් සර්වඥානි දෙවිකෙනෙකුගේ ක්‍රියාවක් විය යුතුය. එහෙත් අපට දෙවියන්ව දැකීමට නොහැකි වීම වෙනම කරුණකි. දෙවියන්ව මෙලොවදී නොදුටු පමණින් දෙවි කෙනෙක් නැතැයි නිගමනයට පැමිණිය නොහැකිය.
සුන්බුන් ගොඩක් කොපමණ කාලයක් තිබුනත් ඉන් පරිගණයක යාන වාහන ගෙවල් දොරවල් නිර්මාණය වන්නේ නැත. ඒ සඳහා යම් බලයක් ක්‍රියාත්මක විය යුතුය. එසේ නම් පරමාණුවේ සිට දැවැන්ත ක්ෂිරපත දක්වා වූ සෑම දෙයක්ම කව්රුන් විසින් නිර්මාණය කොට තිබිය යුතුද?
මෙම විශ්වය නිකම්ම මැවීමක් නොවේ. එහි බොහෝ භෞතික නීති ක්‍රියාත්මක වන්නේය. උදාහරණක් වශයෙන් මුහුදේ ගමන් කරන විශාල නැවක් නොගිලී ගමන් කරන්නේ ඒ මත උඩුකුරු තෙරපුම් බලයක් ක්‍රියාත්මක වන නිසාය. එම බලය ඉබේ ඇති විය හැකිද? නැතහොත් කව්රුන් හෝ විසින් එය ඇති කොට තිබිය යුතුද? ඔහු කව්ද? විශ්වය පුරා මෙවැනි තවත් බොහෝ භෞතික නීති ක්‍රියාත්මක වන්නේය. ඒවායේ ප්‍රතිපලයක් වශයෙන් අපට බොහෝ දේවල් කල හැකිව තිබේ. භෞතික නීති වලට අමතරව විශ්වය පුරා අතිශයින්ම සංකීර්ණ රසායනික සංයෝග දැකිය හැකිය. විශ්වයේ ඇති සෑම දෙයක්ම ගොඩ නැගී ඇත්තේ ඒවායේ ප්‍රතිපලයක් ලෙසය. මෙය මිනිසා විසින් තේරුම් ගත යුතුව තිබේ.
ලෝකයේ තිබෙන ජෛව විවිදත්වය දෙස බලන කල ඒවා පිටුපස ඉතා ඥානාන්විත මැවුම් කරුවෙක් සිටිය යුතු බව පැහැදිලිය. ඇයිද යත් සෑම ජිවියෙකුට මවා ඒවාට අවශ්‍ය අහාර සහ ඒවායේ පැවැත්ම සඳහා වැඩ පිළිවෙලක් සකසා තිබෙන නිසාය. එවැනි දේවල් කිසිසේත්ම ඉබේ සිදු විය නොහැකිය. එය දෙවියන්ගේ ක්‍රියාවක්ම විය යුතුය.
විශ්වයේ මැවුම්කරු වන දෙවියන් ගැන දැනගැනීම මිනිසාගේ වගකීමකි. සෑම ප්‍රධාන ආගමකින්ම ඔහු ගැන සඳහන් කොට ඇත. ඔහු මිනිසාව මවා ඇත්තේ සුවිශේෂී කරුණක් සඳහා ය. ඒ බව දෙවියන් පහළ කල සෑම දහමකින්ම උගන්වා තිබේ. ඒවා හැදෑරීමෙන් මිනිස් ජිවිතයේ නිවැරදි අරමුණ තේරුම් ගැනීමට හැකි වනු ඇත. එය මිනිසා හමුවේ ඇති ප්‍රධාන වගකීමක්ද වේ.

By Fasy Ajward 

B.Sc(Sp.Phy)Hons,Jpura,Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/Twitter:-thetrue_path