හලාල් සහ හරාම්

07/05/2020

Halal and Haram

November 26, 2019

හලාල් සහ හරාම් යනු ඉස්ලාම් දහමේ ඉතා වැදගත් සංකල්පයන් දෙකකි. හලාල් යන්නෙන් අදහස් කරනු ලබන්නේ දහමින් අනුමත කල දේවල් වන අතර හරාම් යන්නෙන් අදහස් කරනු ලබන්නේ දහමින් තහනම් කල දේවල්ය. මේවා අහාර පාන සඳහා පමණක් නොව ක්‍රියාවන් සම්බන්දයෙන්ද බලපැවැත්වෙන්නේය.
ඇතැම් දේවල් එහි ස්වභාවය නිසාම තහනම් වේ. උදාහරණයක් වශයෙන් මත්පැන්, ඌරු මස්, ඉබේ මැරුණු සතුන් ආදිය එහි ස්වභාවය නිසා තහනම් කොට ඇත. එසේම ඇතැම් ක්‍රියාවන් සම්බන්ද දේවල් ද තහනම් වේ. උදාහරණයක් වශයෙන් මුසාවාදය, සොරකම, රැවටීම, අනාචාරයේ හැසිරීම, පොළී ගනු දෙනු ආදිය ඊට අයත් වේ. මේ අතර හලාල් දේවල් පවා හරාම් වන අවස්ථා තිබේ. උදාහරණයක් වශයෙන් පලතුරු වර්ග හලාල් වුවත් ඒවා අත්පත් කර ගත් ක්‍රමය වැරදි නම් ඒවා හරාම් වේ. ඒ අනුව සොරකම් කල සෑම දෙයක්ම හරාම් වන්නේය. මේ අතර ඇතැම් දේවල් හලාල් වුවත් ඒවා දහමට පටහැනි ක්‍රමයට ඝාතනය කිරීම නිසා හරාම් වන්නේය. උදාහරණයක් වශයෙන් කුකුලන් එළුවන් හලාල් වුවත් ඒවා ඝාතනය කිරීමේදී ඉස්ලාම් අනුමත කල ක්‍රම අනුගමනය නොකළේ නම් හරාම් වන්නේය.
ඉස්ලාම් දහමින් හරාම් ලෙස නම් කොට ඇති සෑම දෙයක්ම මිනිස් ජිවිතයට භෞතික වශයෙන් හෝ අධ්‍යාත්මික වශයෙන් අහිතකර බලපෑම් ඇති කරන්නේය. ඒ අනුව හරාම් අහාර අනුභව කිරීමෙන් එහි ප්‍රතිවිපාක කිසියම් අකාරයකට බලපාන්නේය. එසේම හරාම් ක්‍රියාවන් නිසා අධ්‍යාත්මික වශයෙන් බලපෑම් සිදු වන්නේය. ඒවා පින් සහ පව් වශයෙන් වෙන් කල හැකිය. කුරානයේ මේවා විස්තර කොට ඇත.
අල් කුරානය මගින් අහාරය පිණිස තහනම් කොට ඇති දේවල් මෙම කුර්ආන් වැකියෙන් පෙන්වා දී ඇත. "ඉබේම මළ දෑ, රුධිරය, සුකර මාංශ, අල්ලාහ් නොවන්නන් වෙනුවෙන් ඝාතනය කරනු ලැබූ සතුන් ආදිය නුඹලාට තහනම් කර ඇත. තවද බෙල්ල මිරිකනු ලැබීමෙන් මළ දෑ, පහර කෑමෙන් මළ දෑ, උස්තැනක සිට වැටීමෙන් මළ දෑ, අං වලින් අනිනු ලැබීමෙන් මළ දෑ, වනසතුන් සපා කෑමෙන් මළ දෑ යනාදියද (තහනම් කර ඇත)" (කුරානය 5:3).
මේවා අනුගමනය කිරීමෙන් මිනිස් ජිවිතයට වටිනාකමක් එකතු වන්නේය. වෛද්‍ය විද්‍යාව අනුවද ඉබේ මල දෑ සහ රුධිරය අහාරය පිණිස ගැනීමෙන් මිනිස් ජිවිතයට අහිතර බලපෑම් ඈති වන්නේය. එසේම සුකර මාංස නිසා බොහෝ ලෙඩ රෝග සහ වෙනත් අතුරු අබාද ඇති වන්නේය. ඉහත සඳහන් ලේඛනයට අමතරව තවත් බොහෝ මාංශ වර්ග නබිතුමා විසින් තහනම් කොට තිබේ. උදාහරණයක් වශයෙන් මාංශ බක්ෂක සතුන්, රාජාලියන් ඊට අයත් වේ. බුරුවා මාංශ බක්ෂක නොවුනත් එය නබිතුමා විසින් තහනම් කොට තිබේ. මෙහි සඳහන් මාංශ අනුභව කිරීමෙන් මිනිස් ශරීරයට පමණක් නොව අධ්‍යාත්මික ජිවිතයටද අහිතර බලපෑම් ඇති කල හැකි බව නවීන විද්‍යාව අනුව සොයාගන තිබේ. උදාහරනයක් වශයෙන් සුකර මාංශ අහාරයට ගැනීම නිසා ලජ්ජා ශීලි බව නැතිවන බව මානව විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. තවද රුධිරය ශුද්‍ර ජීවින් සඳහා ඉතා හොඳ තෝතැන්නකි. එබැවින් රුධිරය අනුභව කිරීමෙන් නොයෙකුත් අබාද ඇතිවිය හැකිය. මේ නිසා ඉස්ලාම් පෙන්වා දෙන ක්‍රමයට සත්වයින් ඝාතනය කිරීමේදී උපරිම වශයෙන් රුධිරය පිටතට වාහනය වීමට සලස්වන්නේය. මේ හේතුව නිසාම උස තැනකින් වැටී මිය ගිය සතුන් සහ පහර කෑමෙන් මිය ගිය සතුන්ගේ මාංශ අනුභව කිරීම මුස්ලිම්වරුන්ට තහනම් කොට ඇත. ඉස්ලාම් දහමින් තහනම් නොකළ අනෙක් සෑම දෙයක්ම හලාල් වේ.
අහාර පමණක් නොව නබිතුමා සහ කුරානයෙන් තහනම් කොට ඇති ක්‍රියාවන්වල නිරත වීමත් මුස්ලිම්වරුන්ට හරාම් වේ. උදාහරනයක් වශයෙන් අනාචාරයේ යෙදීම, මත්පැන් මෙන්ම මත්කුඩු භාවිහා කිරීම පොළිය සම්බන්ද සියළුම ගනු දෙනු මුස්ලිම්වරුන්ට තහනම් වේ. එපමණක් නොව මුසාව, වංචාව, සොරකම, මංකොල්ල කෑම ආදී සෑම දෙයක්ම ඉස්ලාම් දහමින් හරාම් වේ.
ඉහත කරුණු වලට අමතරව මුස්ලිම්වරුන් කරන රැකියාවන්ද හලාල් විය යුතුය. ඒ අනුව පොළී ගනු දෙනු කරන ආයතනවල, තැබෑරුම්වල, ගණිකා මඩම්වල මුස්ලිම්වරුන්ට රැකියා කිරීම හරාම් වේ. එසේම හලාල් රැකියාවක නිරත වුවත් පගාව ගැනීම හෝ එය දීම හරාම් වේ. නබිතුමා පවසා ඇති පරිදි පගාව ගත් තැනැත්තා සහ පගාව දුන් තැනැත්තා යන දෙදෙනාම නරකාදියට යන්නේය. මේ නිසා තමන් ගනු ලබන වේතනයට සරිලන අවංක සේවයක් ලබා දීම මුස්ලිම්වරයෙකුගේ යුතුකම වේ. ඊට පටහැනිව ක්‍රියා කිරීම හරාම් වන්නේය.
මෑත කාලයේදී හලාල් සහතිකයක් ගැන ඇසීමට ලැබෙන්නේය. එවැනි දෙයක් අවශ්‍ය වන්නේ වෙළඳ පොලේ ඇති භාණ්ඩ හඳුනා ගැනීම සඳහා ය. ඉන් වැඩි වාසිය අත් වන්නේ මුස්ලිම්වරුන්ට වඩා එම භාණ්ඩ විකුණන ව්‍යාපාරිකයින්ට ය. ඇයිද යත් එමගින් ඔවුන්ට ඉතා විශාල වෙළඳ පොළක් හිමිවන නිසාය.
By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Japura,Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/