මුහම්මද් (ﷺ) තුමා කව්ද?

05/05/2020

(Who is prophet Mohamed (ﷺ) 

ජේසු තුමාගේ පැමිණීමෙන් පසු මෙලොවට එවන ලද දෙවියන්ගේ අවසාන පණිවිඩ කරු මුහම්මද් (ﷺ) නබිතුමාණෝ වෙති. එතුමාගෙන් පසු නබිවරුන්ගේ පැමිණීම සහ දේව පණිවිඩය කෙළවර වන්නේය. ඒ අනුව මුහම්මද් (ﷺ) තුමාට පහළ වූ අල් කුරානය ලොව පහළ වූ අවසාන සහ සම්පුර්ණ කරන ලද දහම් පුස්තකය වේ. තවද, මුහම්මද් (ﷺ) තුමා එක් ජනකොට්ටාසයකට පමණක් සිමා වූ නබිවරයෙක් නොවන අතර මුළු ලෝකවාසී සියලු ජනතාවටම නබිවරයෙකි. එම හේතුවෙන් මුහම්මද් (ﷺ) තුමා ගැන දැනගැනීම ලෝකවාසී සියලුදෙනාගේම වගකීමකි.
මුහම්මද් (ﷺ) තුමා අනෙක් නබිවරුන් මෙන්ම මිනිසුන් අතරින් තෝරාගනු ලැබූ කෙනෙකි. එතුමාට නබිවරුන්ට ලබෙන දේව පණිවිඩ ලැබෙන්නේය. ඒවා මිනිසුන් අතරට ගෙන යාම ඔහුට පැවරුණු විශේෂ රාජකාරිය විය. එතුමා නබිවරයෙකු බව මිනිසුන්ට ඒත්තු ගැන්වීම සඳහා බොහෝ ප්‍රතිහාරයන් සිදු කොට තිබේ. ඒවා අතරින් අප අතර ඉතිරිව තිබෙන්නේ අල් කුරානය පමණි.
මුහම්මද් (ﷺ) තුමා ඉබ්‍රාහිම් නබිතුමාගේ පුත් ඉස්මායිල්ගේ පරම්පරාවෙන් ද ජේසු තුමා ඉබ්‍රාහිම් තුමාගේ පුත් ඉස්හාක්ගේ පරම්පරාවෙන්ද පැවතෙන්නෝය. ඒ අනුව ජේසු තුමා සහ මුහම්මද් (ﷺ) තුමා යන දෙදෙනා ඥාති සහෝදරයින් වෙති.
මුහම්මද් (ﷺ) තුමා ක්‍රි.ව. 571 දී අබ්දුල්ලා සහ අමිනා යන දෙදෙනාට දාව උපත ලැබුවේය. එහෙත් එතුමා උපදින විට තම පියා ජිවතුන් අතර සිටියේ නැත. එසේම ඔහුගේ වයස හයේදී මවද කළුරිය කළාය. නබිතුමා කුඩා කල සිටම අරාබියේ චාරිත්‍රයට අනුව හාලිමා නම් ග්‍රාමීය කාන්තාවක් සමඟ හැදී වැඩුණි. මවගේ අභාවයෙන් පසු සිය පියාගේ පියා වන අබ්දුල් මුත්ත්ලිබ් ද ඔහුගේ අභාවයෙන් පසු නබිතුමාගේ පියාගේ සහෝදරයෙක් වන අබු තාලිබ් තුමා ළඟද එතුමා හැදී වැඩුනේය.
මුහම්මද් (ﷺ) තුමා අනාත දරුවෙකු ලෙස උපත ලැබුවත් දෙවියන්ගේ සැලසුම අනුව ඉතා කෙටි කාලයකදී ලෝකයේ ඉතා විශාල වෙනසක් ඇති කළේය. ඒ අනුව ගෝත්‍ර වශයෙන් බෙදී සිටි අරාබියාව එක්සේසත් කළේය. ඔවුන් අතර විශාල අධ්‍යාත්මික පෙරලියක් ඇති කළේය. ඉතා කෙටි කාලයක් තුලදී ලෝකයේ ඉතා ශ්‍රේෂ්ඨ ජාතියක් බවට අරාබිවරුන් පත් විය. ඊට ප්‍රධාන හේතුවක් වුයේ අල් කුරානය සහ නබිතුමාගේ ජිවිතාදර්ශය යි.
මුහම්මද් (ﷺ) තුමාගේ ශ්‍රේෂ්ටත්වය මුස්ලිම් විද්වතුන්ට වඩා මුස්ලිම් නොවන විද්වතුන්ගේ ප්‍රකාශන වලින්ම දැනගැනීම ප්‍රයෝජනවත් විය හැකිය. මයිකල් එච් හාට් විසින් ලියන ලද "100 most influential people in the world" යන කෘතියේ මුලටම මුහම්මද් (ﷺ) තුමාගේ නම සඳහන් කොට ඇත. එම ග්‍රන්ථයේ ජේසු තුමා මෙන්ම තවත් බොහෝ විද්‍යාඥයින්ගේ නම් සඳහන් වන්නේ ඉන් පසුවය. එමගින් එතුමාගේ ශ්‍රේෂ්ටත්වය කියා පාන්නේය.
අල් කුරානය මුහම්මද් (ﷺ) තුමාගේ නිර්මාණයක් නොවන බව බොහෝ විද්‍යාඥයින් විසින් ප්‍රකාශ කොට තිබේ. ඒ අතර මහාචාර්ය කීත් එල් මුවර් ද ප්‍රධාන තැනක් ගන්නේය. මේ බව මහාචාර්ය මොරිස් බුකෛල් ඔහුගේ "The Qur'an, the Bible and Modern Science" යන කෘතියේ ද සඳහන් කොට ඇත. ඔහු සඳහන් කරන්නේ මුහම්මද් (ﷺ) තුමා ජීවත්වූ කාලය දෙස බලන කල කිසිසේත්ම අල් කුරානය ඔහුගේ කෘතියක් විය නොහැකි බවයි.
නබිතුමා කුඩා කාලයේදී අකුරු ඉගෙන ගෙන තිබුනේ නැත. ඒ අනුව එතුමාට කියවීමට හෝ ලිවීමට හැකියාව තිබුනේ නැත. එවන් පසුබිමක් තුල ලෝකයේ විශිෂ්ටතම කෘතිය ලෙස සැලකෙන අල් කුරානය ඔහු විසින් ලියන ලද්දක් යැයි පැවසීමට කිසිම සාක්ෂියක් නොමැත.
මුහම්මද් (ﷺ) තුමා ඔහුගේ 25 වන වියේදී ඔහුට වඩා වයසින් වැඩි දෙවරක් වැන්දඹු භාවයට පත්ව සිටි කදිජා තුමිය සමග විවාහ වී ඇත. එම විවාහය ඉතා සාර්ථක එකක් වූ අතර කදිජා තුමිය ජිවතුන් අතර සිටිනතාක් කල් නබිතුමා වෙනත් කිසිම විවාහයක් සිදු කර ගත්තේ නැත. එම විවාහයෙන් නබිතුමාට පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් සිව් දෙනෙක් ලැබී ඇත. පිරිමි දරුවන් දෙදෙනා කුඩා කාලයේදීම කළුරිය කළෝය. ෆාතිමා හැර අන් සියලුම ගැහැණු දරුවන් නබිතුමා ජිවතුන් අතර සිටියදීම කලුරිය කළෝය. නබිතුමාගේ 53 වන වියේදී කදිජා තුමියද කලුරිය කළාය. කදිජා තුමියගේ වියෝවෙන් පසු නබිතුමා විවිධ සමාජයීය හේතුන් මත විවාහයන් 11 ක් සිදු කොට තිබේ. මෙම විවාහයන් අතරින් අයිෂා තුමිය හැර අන් සියලුම දෙනා වැන්දඹු කාන්තාවෝ වෙති.
නබිතුමාගේ ජිවිත කාලය තුලදී සිදුවුණු සුවිශේෂී කරුණක් වන්නේ මිහ්රාජ් ගමනයි. එවැනි ගමනක් වෙනත් කිසිම නබිවරයෙකුට ලැබී නැත. එම ගමනේදී නබිතුමා අහස් හතක් පසුකරගෙන ගොස් අල්ලාහ්ව හමු වී ඇත. ඔහු නැවත හැරී එන විට පංච කාල සලාතය පිලිබඳ නියෝගය රැගෙන ආවේය. තවද නබිතුමා එම ගමනේදී ස්වර්ගය සහ නිරය දැක බලාගෙන තිබේ. මෙම ගමන නබිතුමා විසින් සිදු කල ප්‍රතිහාරයක් බැවින් එය අපගේ බුද්ධියෙන් තේරුම් ගැනීමට හෝ එය විස්තර කිරීමට නොහැකිය. කෙසේ වෙතාත් එකල සිටි මුස්ලිම් නොවන කුරෛෂ්වරුන් විසින් නබිතුමාගෙන් අසන ලද ප්‍රශ්න වලට නබිතුමා ලබා දුන් පිළිතුරු නිසා ඔවුන් නිරුත්තර වී තිබේ.
නබිතුමාගේ මැදි වියේදී හුදකලා ජීවතයක් ගත කොට ඇත. ඊට ප්‍රධාන හේතුව එකල පැවති සමාජයේ පිරිහිමයි. මේ හේතුවෙන් නබිතුමා වැඩිම කාලයක් ගත කොට ඇත්තේ මක්කාවේ පිහිටි හිරා නම් ගුහාව තුලය. නබිතුමාට මුල්ම කුර්ආන් පණිවිඩය පහළ වුයේද ඔහු හිරා නම් ගල් ගුහාව තුල සිටින කාලය තුලදීය. ඉන් පසු ක්‍රමක් ක්‍රමයෙන් වසර 23 ක් පුරාවට සම්පුර්ණ කුරානයම පහළ විය. ඒ අනුව නබිතුමාගේ ජිවිත කාලය තුලදී ඉස්ලාම් දහම සම්පුර්ණ කෙරුණේය. එම නිසා ලෝකය අවසානය දක්වා එහි කිසිම වෙනසක් කිරීමට අවසර නොමැත.
මේ වන විට ලෝක ජනග්‍රහණයෙන් 1/3 ක් පමණ එතුමාගේ අනුගාමිකයෝ වෙති. එපමණක් නොව ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්තවන දහම ඉස්ලාම් බවට පත්වී ඇත.By Fasy Ajward.B.Sc (Special) Hons.Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/Twiter:- thetrue_path