නෝන්බි අවුරුදු දිනයෙහි පිළිපැදිය යුතු උසස් සාරධර්ම!

03/05/2020

1- ‍රමළාන් මස නිම වී ෂව්වාල් මස (නෝන්බි අවුරුද්ද) උදාවත් සමග අල්ලාහ්ට කෘතඥවීමක් වශයෙන් අධිකව තක්බීර් පවසමින් ඔහු ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම. අවුරුදු සලාතයට පෙර සකාතුල් ෆිත්ර් අනිවාර්්‍යය දානය ඉටු කිරීම. අවුරුදු සලාතය ආරම්භ කරන තෙක් තක්බීර් පැවසීම.

2- උත්සව සලාතයට යෑමට පෙර දිය නා ගැනීම. "අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමන් උත්සව සලාතයට සහභාගිවීමට පෙර දිය නා ගනී" (මූලාශ්‍රය: මුවත්තා 428). උත්සව දිනයෙහි දිය නෑම විද්වතු අතර පිළිගත් මතයකි යනු ඉමාම නවවි (රහ්) තුමන් පවසයි.

3- අළුත් ඇඳුමක් පැළඳීම. "නබි (ﷺ) තුමන් සතුවූ ජුබ්බාවක් ඊද් උත්සව දෙකේදී, ජුම්ආ දිනයෙහි පළඳින්නෛ්ය" යනු ජාබිර් (රලි) තුමන් විස්තර කරයි. (ඉබ්නු හුසෙයිමා 1765). කාන්තාවන් ඇඳුම් පළඳින විට තදට හා සිනිඳු ඇඳුම් ඇඳීමෙන් වැළකීම. කාන්තාවන් සුවඳ විළිවුන් ආලේප කර මස්ජිදය වෙත, පොදු ස්ථාන වෙත යෑමෙන් වැළකිය යුතුය. කාන්තාවන් සතුට බෙදාගැනීමේ මුවාවෙන් අන්‍ය පිරිමීන්ට අත දීමෙන් වැළකිය යුතුය. එය බලවත් වරදකි.

4- උත්සව සලාතයට සහභාගිවීමට පෙර යමක් අනුභව කිරීම. හජ් උත්සවයේදි සලාතයෙන් පසු අනුභව කළ යුතුය.

"නබි (ﷺ) තුමන් ඔත්තේ සංඛ්‍යාෙවෙන් රට ඉඳි අනුභව කර නෝන්බි අවුරුදු සලාතයට සහභාගිවෙයි" යනුවෙන් අනස් (රලි) තුමන් විස්තර කරයි. (මූලාශ්‍රය: බුහාරි 953). රට ඉඳි නොමැති විට වෙන යමක් අනුභව කළ හැක.

5- ඊද් උත්සව සලාතය මස්ජිදයෙහි නොව පිට්ටනියක පැවැත්වීම. ඔසප්වූ කාන්තාවන්ද එම අවස්ථාවට පැමිණිය යුතු අතර ඔවුන් සලාතය පමණක් ඉටු නොකරති.

6- ඉමාම් සලාතය සඳහා පිටත්ව එන තෙක් තක්බීර් පැවසීම. එයත් සමග තක්බීර් අවසන් වෙයි.

7- තක්බීර් පවසන ක්‍රමය: "අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් ලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් වලිල්ලාහිල් හම්ද්". අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි) තුමන් මෙසේ තක්බීර් පවසයි. (මූලාශ්‍රය: මුසන්නෆ් ඉබ්නු අබී ෂෙයිබා).

8- සුභ පැතීම: සතුට බෙදාගන්නා අයුරින්, සිනා මුසු මුහුණින් සුභ පැතීම. යහපත ප්‍රාර්ථනා කිරීම. සුභ පතන විට මෙම ප්‍රාර්ථනාව පමණයි කිව යුත්තේ යනුවෙන් පැවසීමට හදීස් සාධක නොමැත. එබැවින් පොදුවේ සතුට බෙදාගැනීමට යහපත් වචන භාවිතා කළ හැක.

9- උත්සව සලාතය සඳහා යන විට එක් මාර්ගයකින් හා යළි පැමිණෙන විට තවත් මාර්ගයකින් පැමිණීම. මෙසේ නබි (ﷺ) තුමන් කළ බව ජාබිර් (රලි) තුමන් විස්තර කරයි. (මූලාශ්‍රය: බුහාරි 986).

10 ඊද් උත්සව සලාතයට පෙර හෝ පසු කිසිදු සලාතයක් නොමැත. එම සලාතය සඳහා බාංගු, ඉකාමත් නැත. රක්අත් දෙකකින් යුත් සලාතයේ මුල් රක්අතයෙහි තක්බීර් හතක් පැවසිය යුතුය, දෙවැනි රක්අතයෙහි තක්බීර් පහක් පැවසිය යුතුය. එම තක්බීරයන් අතර පැවසීමට කිසිවක් නැත. සමහරුන් නොදැනුවත්ව ඒ අතර තස්බීහ් පවසති නමුත් එයට කිසිදු සාධකයක් නොමැත. මුල්ම තක්බීරය හැර සෙසු තක්බිර්වල දෙඇත් නොඔසවා මුවින් තක්බීර් පැවසිමයි නියම ක්‍රමය වන්නේ. එසේ දෙඅත් ඔසවන්නන් අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමන්ගේ ක්‍රියාව සාධක වශයෙන් ඉදිරිපත් කරති. සලාතයෙන් පසු ඉමාම් වරයා දේශණයක් පැවැත්විය යුතුය.

රමළාන් මස උපවාසය නිම කළ මුස්ලිම්වරුන්ට සතුටින් සැමරීම සඳහා අල්ලාහ් උදාකළ දිනයයි ඊදුල් ෆිත්ර් නෝන්බි අවුරුද්ද. එ දින සීමාව ඉකමවා නොයමින් සතුට බෙදා ගැනීමේ මුවාවෙන් පාපයන් නොකළ යුතුය. මත් පැන්, සූදු කෙළි, සිනමාව, සංගීතය, කාන්තා, පිරිමි මිශ්‍රවීම, සලාතය අතපසු කිරීම, ආහාර නාස්තිය වැනි අල්ලාහ් වැළැක්වූ දෙයින් වැළකි සිටිය යුතුය. ආගම තහනම් කළ කරුණු තුළ මුස්ලිමෙකුට කිසිදු සතුටක් නොමැත. අල්ලාහ් සතුටට පත් කිරීමයි මුස්ලිමෙකුට පවතින ඉහළම සතුට බව කොයි කවුරුත් අමතක නොකළ යුතුය.

By: Abu Asma

www.yayuthumaga.com