ඉස්ලාම් දහමින් අධ්‍යාපනයට හිමි තැන

07/05/2020

අධ්‍යාපනය ලැබීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්යවේ. මෙම කරුණ නබි වදනකින් සනාථ වන්නේය. තවද ඉස්ලාම් දහම තුල ක්‍රියාවට පෙර අධ්‍යාපනයට මුඛ්‍ය ස්ථානයක් ලබා දී ඇත. එබැවින් මුස්ලිම්වරයෙකු යම් ක්‍රියාවක් කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාගෙන තිබිය යුතු වන්නේය. මිනිසාට දැනුම ලබාගැනීම සඳහා අවශ්‍යකරන ශරීර අවයවයන් උපතින්ම ලබා දුන් අල්ලාහ්ට මිනිසා සදා නයගැතිය.
"නුඹලා කිසිවක් නොදන්නන්ව සිටි තත්වයෙහි නුඹලාගේ මෑණිවරුන්ගේ කුසවලින් අල්ලාහ්ම නුඹලාව පිට කළේය. තවද ඔහුම නුඹලා තුති කරනු පිණිස ශ්‍රවනයද, දෘෂ්ටින්ද, සිත්ද ඇති කළේය" (කුරානය 16:78).

මිල කළ නොහැකි මිනිස් අවයවයන් ලබා දුන් අල්ලාහ්ට ස්තුති කල හැක්කේ ඔහුගේ නියෝගයන් හැකි පමණින් ක්‍රියාවට නැංවීම තුලිනි. ඒ අනුව අපගේ ඇස්වලින් දෙවියන් තහනම් කළ දේවල් බැලීම වරදකි. එසේම අපගේ කන්වලින් ඔහු තහනම් කළ දේවල් ඇසීම වරදකි. මේවා ගැන අපගෙන් ප්‍රශ්න කරනු ඇත.

"නුඹට කුමක් ගැන දැනුම නැත්තේද නුඹ එය නොපිළිපැදිය යුතුය. නියතව ශ්‍රවණය, දෘෂ්ටිය, හදවත යනාදිය ගැන ප්‍රශ්න කරනු ඇත" (කුරානය 17:36).

නබිතුමාට පහළ වූ මුල්ම කුර්ආන් වැකියෙන් පවසා ඇත්තේද කියවීම සම්බන්දවයි. එම වැකි ඛණ්ඩය පහත දැක්වේ.

"නුඹගේ අධිපතියාගේ නාමයෙන් කියවනු!....."

තවද කුරානයේ මෙසේ සඳහන් කොට ඇත.

"නියතව නැමදුම් ලැබීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැතැයි නුඹ දැනගන්න!..." (කුරානය 47:19).

ඉහත සඳහන් කළ කරුණු අනුව පෙනී යන්නේ ක්‍රියාවට පෙර දැනුම ලබාගෙන තිබිය යුතු බවයි. ඉහත දැක්වෙන කුර්ආන් වැකියෙන් පෙනී යන්නේද දෙවියන් නැමදිය යුත්තේ ඔහු ගැන දැනගැනීමෙන් පසුව බවයි. මේ නිසා සෑම කෙනෙකුම තමන්ට හැකි පමණින් දැනුම ලබාගැනීමට ක්‍රියා කළ යුතුය.

"අල්ලාහ්ගේ ගැත්තන්ගෙන් ඔහුට බිය වන්නේ උගතුන්මය" (කුරානය 35:28).

ඉහත වැකිය අනුව පෙනී යන්නේ උගතුන් අල්ලාහ් ඉදිරියේ ගෞරවනීය ස්ථානයක් උසුලන බවයි. මෙය පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් තවත් හොඳින් පැහැදිලි වේ.

"නුඹලාගෙන් කවරහු විශ්වාස කර, දැනුමද දෙනු ලැබ ඇත්තෝද ඔවුනට අල්ලාහ් තරාතිරම් උසස් කරන්නේය" (කුරානය 58:11).

දැනුමෙහි ඇති වැදගත්කම නිසාම දැනුම වැඩිකර දෙන මෙන් ප්‍රාර්ථනා කිරීමට කුරානයේ උගන්වා ඇත.

"මාගේ 'රබ්'! මට දැනුම අධික කරනු මැනව'යි පවසන්න" (කුරානය 20:114).

තවත් අවස්ථාවකදී අල්ලාහ් මෙසේ පවසා ඇත.

"දන්නෝ සහ නොදන්නෝ සමාන වන්නේදැයි (නබි!) නුඹ අසන්න! බුද්ධිමත්හුම උපදෙස් ලබන්නෝය" (කුරානය 39:9).

මිනිසාට ප්‍රයෝජනවත් සෑම දැනුමක්ම ඉගෙන ගැනීම සඳහා ඉස්ලාම් දහමින් ඇරයුම් කරන්නේය. මේ නිසා ආගමික දැනුමට අමතරව වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව, අභ්‍යාවකාශ විද්‍යාව වැනි විෂයන් හැදෑරීම මුස්ලිම්වරුන්ට වැදගත් වන්නේය. පුරාණ මුස්ලිම්වරුන් විසින් මෙම ක්ෂේස්ත්‍රවලට විශාල දායකත්වයක් සපයා ඇත. එහෙත් අද ඉස්ලාමීය දහම් පාසල්වලින් විද්‍යාව සම්පුර්ණයෙන්ම ඉවත්වී ඇත. මේ හේතුවෙන් කුරානය හදාරන බොහෝ අයට විද්‍යා විෂයන් හැදෑරීමේ අවස්ථාව ලැබෙන්නේ නැත. එසේම ලෞකික අධ්‍යාපනය හදාරන සිසුන්ට කුරානය හැදෑරීමට අවස්ථාවක් ලැබෙන්නේද නැත. එහෙත් කුරානය හොඳින් තේරුම් ගැනීමට නම් සෑම අංශයකින්ම දැනුම ලබාගෙන තිබීම ඉතාමත්ම වැදගත්ය. ඇයිද යත් කුරානයේ ආගමික කරුණු වලට අමතරව විද්‍යාව සම්බන්ද වැකි විශාල සංඛ්‍යාවක් තිබෙන නිසාය.

By Fasy Ajward

B.Sc (Sp.Phy)Hons.J.Pura, March 29, 2017./ Yayuthumaga

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.