මගේ ආගම කුමක්ද?

10/12/2019

ඔබ සම්බන්දව නම් මෙම ප්‍රශ්නයට පිළිතුර ක්‍ෂණයකින් ඔබේ සිහියට නැගෙනු නොඅනුමානය. නමුත් මෙය නැවත ඔබ ඔබෙන්ම අසාගත යුතු ප්‍රශ්නයක් බව මම ඔබට ඉඟි කරමි.

මගේ ආගම - මගේ ඉරණමයි. 

එය තව දුරටත් විග්‍රහ කරනවානම්,

  • මම කව්ද?
  • මම මේ ලෝකෙට පැමිණියේ කොහේ සිටද? 
  • මම මෙලොව දී කුමක් කල යුතුද?
  • මම මෙලොවින් සමුගත් පසු යන්නේ කොහෙටද?
  • මේවාට පිළිතුරු සොයන්න මට තනියම පුළුවන්ද?
  • මෙලොව ඉන්න කාලය තුල මම අනුගමනය කල යුත්තේ කව්රුන් විසින් දේශනා කල ධර්මයද?
  • එම ධර්මය කාගේ දහමක් ද?  
  • එහි අන්තර්ගතය, උපදෙස් හෝ නියමය සෑම යුගයකටම, සෑම සමාජයකටම, සෑම සතා සිව්පාවටම, ඉර හද අහස පොලව ආදී සෑම දෙයක් සමගම සම්බන්ධද?
  • එම ධර්ම මූලාශ්‍ර වල නිරවද්‍යතාවය පිළිබඳව සහ ඒවායෙහි ආගමක් වශයෙන් සදහන් කරුණු පිලිබදව සෑහීමකට පත් වෙන්න පුලුවන්ද?
  • කිසිවිටකත් පිළිගත නොහැකි කරුණු පවා එම ධර්ම මූලාශ්‍ර වල අන්තර්ගතද? 
  • එහි මුල මැද අග ආදිය පිළිබද තියෙන අදහස් අපට දැනට තියෙන බුද්දියට අනුව භෞතික සහ පාරභෞතික වශයෙන් පිළිගත හැකිද?

මේ ආකාර වූ කරුණු පිලිබදව මධ්‍යස්ථ කෝණයක සිට, පක්ශග්‍රාහී නොවී, හැගීම් වලට වහල් නොවී, පරාධීන නොවී විචාර බුද්ධිය මෙහෙයවල තීරණය ගැනීම මගේ වගකීම වේ. එය මා වෙනුවෙන් මම කරන මගේ පරම යුතුකම වේ.

අපි මිලදී ගන්නා හෝ උරුම කර ගන්නා ඉඩම් දේපල ආදිය ගැනීමේදීත් විකිණීමේදීත් හෝ උරුම කරදීමේදීත් අප එහි නිරවද්‍යතාවය පිළිබඳව කොතරම්ම සැලකිලිමත් වෙනවද කියා මදක් සිතා බලන්න. අපේ වැඩිහිටියෙක් අපට ඉඩමක් දුන්න පලියට අපි එය අරන් කිසිවක් සොයන්නේ බලන්නේ නැතිව පාවිච්චි කරනවද? අපි විසින් අපේ දරුවෙකුට ඉඩමක් දුන්නත්, දුන්න පලියට අපේ දරුවන් පවා එය භාරගෙන නිකම්ම පාවිච්චි කරනවද? නැහැ නේද? 

අපි හැමෝම එහි නිරවද්‍යතාවය පිළිබඳව සොයා බලනවා නොවේද? නීතීඥයෝ පස්සේ යනවා, ඔප්පු පරික්ෂා කරනවා, පිඹුරුපත් පරීක්ශා කරනවා, තව බොහෝ දේ... එහෙම නේද? මෙවැනි උදාහරණ ඕනි තරම් අපේ මතකයට එනවා. එහෙත්,

  • ඇයි ආගම විතරක් නිකම්ම ගන්නේ?
  • ඇයි ආගම විතරක් නිකම්ම දෙන්නේ? සොයා බලන්න උවමනා නැද්ද?
  • ආගම නිකම්ම ගන්න හෝ නිකම්ම දෙන්න තරම් කිසිම වටිනාකමක් නැති දෙයක්ද?
  • අම්ම තාත්තා හින්දු නම් 'මැරෙනකම්ම මමත් හින්දු', 
  • අම්ම තාත්තා බෞද්ධ නම් 'මැරෙනකම් මමත් බෞද්ධ', එහෙමද?
  • අම්ම තාත්තා මුස්ලිම් නිසා "මමත් මුස්ලිම්",..... 
  • අම්ම තාත්තා, වැඩිහිටියෝ පන්සල් ගිය නිසාමද ගුණපාල සහ සුමනාවතී පන්සල් යන්නේ? 
  • අම්ම තාත්තා දැන හෝ නොදැන කෝවිල්, පල්ලි, දේවාල ගානේ ගිය නිසාද පාතිමාත් කුන්ඩුමනීත් ඒවාටම යන්නේ? එහෙම නේද අද සමාජයේ බහුලව සිදුවෙන්නෙ?

ලොව පුරා බිලියන 7.8 ක් පමන වන ජනතාව භාෂාවල් 6800 කට වඩා භාවිතා කරන බවත්, අඩුවැඩි වශයෙන් ලොව පුරා මිනිසුන් ආගම් හෝ විශ්වාසයන් 4300 ක් පමණ අදහන බවත් මම අසා තිබෙනවා. 

මේ ලෝකේ ජිවත් වන මිනිසුන් අදහන ආගම් 4300 න් මගේ ආගම කුමක්ද? 

විවිධ ආගම් සම්බන්ධ තොරතුරු ටිකක් පහතින් ඉදිරිපත් කර ඇත.  

තමන් 'හරියි' කියන ආගමත් එහි සඳහන්ව ඇත.

තම තමන්ගේ විශ්වාසයන්ට අනුව තමන්ගේ ආගම තමය් ඔතනින් සත්‍යයම ආගම. එවිට අනිකුත් ආගම් සියල්ල අසත්‍ය විය යුතුය. හේතුව නම්, ඔය ආගම් එකකට එකක් සර්ව සමව එකිනෙකට ගැලපෙන ලෙස මිනිසුන් පිළිගන්නේ නැති නිසා.

මේ ඔක්කොටම පායන්නේ එකම ඉරයි. තියෙන්නේ එක මහ පොලොවයි. හුස්මගන්නේත් එකම වාතයයි. ඉපදෙන්නේ එකම විදිහටයි. මැරෙන්නෙත් එකම විදිහටයි. එහෙමනම් මේ විශ්වයටම පොදු වූ එකම ආගමක් මිනිසුන්ට නැත්තේ ඇයි කියල හිතෙනවා නේද?

විශ්වය තුල තිබිය හැක්කේ එකම එක සත්‍යයයක් පමණක් නිසාත් මිනිසුන්ද එම විශ්ව සොබා දහමෙහිම කොටසක් වන නිසාත් මිනිස් සිත් මත පරස්පර අදහස් දරමින් ඔවුන් වෙන් වෙන්ව එකිනෙකට වෙනස් ආගම් පිළිගන්නවා නම් ඒ ගැන තවපාරක් හිතන්න වෙනවා නේද ?

පහත තොරතුරු දෙස හොඳින් බලන්න.

RELIGIONS  MEMBERSHIP  PERCENTAGE

Christianity  2,039 m - 32% (dropping)

Islam -            1,570 m - 22% (growing)

Hinduism -      950 m -   13% (stable)

No religion -    775 m -  12% (dropping)

Chinese folk religion - 390 m - 6%

Buddhism -      376 m -   6% (stable?)

Tribal Religions, Shamanism, Animism - 232 m - 4%

Atheists -          150 m -   2% 

New religions - 103 m -  2%

Sikhism -         23.8 m -   1%

Judaism -         14.5 m -   1%

Spiritism -         12.6 m -   1%

Baha'i Faith -      7.4 m -   1%

Confucianism -  6.3 m -   1%

Jainism -            4.3 m -   1%

Zoroastrianism -2.7 m -   1%

Shinto -              2.7 m -   1%

Taoism Note 4-  2.7 m -   1%

Other -                 1.1 m -   1%

TOTAL -      6663 million

අද ඔබ ගමන් ගන්නා මාර්ගය හෙවත් ඔබගේ ආගම ඔබ විසින් තෝරාබේරා ගත්තේ කොහොමද? 

අපි පාසල් යද්දීත් ඉගන ගැනීමට ආගම් කිහිපයක් තිබුණා. විවිධ ආගම් අදහන දෙමාපියන්ගේ දරුවො වු කුඩා අපි කිසිම තර්කයක් නැතිවම තම තමන්ගෙ දෙමාපියන්ට උරුමව තිබූ දහම උගන්නන පන්තිවලට විතරක්ම යන්න පුරුදු උනා. විවිධ ආගම් අදහන දෙමාපියන්ගේ සෑම දරුවෙක්ම කළේ එකම දෙයමයි.

නමුත් ආගම් කිහිපයක් අවේ කොහෙන්ද, මොකද, කින්ද මන්ද කියල කිසිවෙක් කුඩා අපිට කියා දුන්නෙ නෑ. අපිත් ආගම විෂය තිබුන වෙලාවට වෙන වෙන පන්ති කාමරවලට ගිහින් ඉබේම වගේ තම තමන්ගෙ දෙමාපියන් තෝරාගෙන තිබුණු ආගමම ඉගන ගෙන නැවත අපි සියල්ල එකම පන්තියට අවා. අද අපේ දරුවෝ කරන්නෙත් ඔය ටිකම තමියි. 

සමහර පාසල් වලත් සමහර රටවල් වලත් තනිකරම උගන්නන්නෙ එකම එක ආගමක් විතරයි. කුඩා ලමුන්ට මෙය වටහා ගන්න බෑ. අවාසනාවකට මෙහි බරපතලකම වැඩිහිටියන්ට වැටහෙන්නෙත් නෑ.

අම්මල තාත්තලට විවිධ ආගම් ගැන හොයන්න වෙලාවක් හෝ උවමනාවක් තිබුනෙත් නෑ. හැමෝම තම තමන්ට පරම්පරාවෙන් උරුම වූ ආගම සත්‍ය කරගෙන හිටියා. 

පන්සලට ගියාම හාමුදුරුවරු ඔවුන් විශ්වාස කරන ඔවුන්ගේ එම දහම තමය් නිවැරදිම දහම කියා උගන්වන විට පල්ලියට ගියාම ඔවුන් ඒ දහම තමය් නිවැරදිම දහම කියාත් උගන්නනවා. පන්සලට විතරක්ම යන අයට පල්ලියේ උගන්නන දහම ගැනත් පල්ලියේ උගන්නන දහමම ඉගන ගන්න ළමයට පන්සලේ උගන්නන දහම ගැනත් අවභෝදයක් නෑ.

අපිට කොහේ හරි වැරදදීලා කියල මෙතැනින්ම හිතෙන්නේ නැතිද?

මම දන්නා නොදන්නා හිතවතුනි,

අපි තනියමයි ඉපදුනේ. අපි මැරෙන්නෙත් ඉන් පස්සේ වෙනදේට මුහුණ දෙන්නෙත් තනියමමයි.

එක් එක්කෙනා දිහා බලලා ආගම් තීරණය කරන්න එපා. අර ආගම් කාරයෝ මරාගන්නකොට මේ ආගම් කාරයෝ මල්පූජා කරනවා කියා එතැනින් නතරවී තීරණ ගන්නත් එපා. එය ආගමක් හඳුනාගැනීමට කරන නිවැරදි මිම්මක් නොවෙයි.

ඔබ බසයකට නැගල දීර්ග ගමනකට පස්සේ කියන්න එපා "අපි යමින් ඉන්න බස් ඒක නම් හොඳයි, රියදුරුත් හොඳයි, පාරත් හොඳයි, ඉතුරු ටිකත් ඔහොමම යමු" කියල.

  • බලන්න නැගල තියෙන බස් ඒක හරි එකද කියල.
  • ඒක ඇවිත් තියෙන්නේ හරි පාරේද කියලත් බලන්න.

අපිට වැරදිලා තිබුනොත්, සමහරවිට නැවත කාලය මදි වෙන්නත් පුළුවන් අපේ  නිවැරදි ගමනාන්තය කරා සේන්දු වෙන්නට. සමහර විට අපේ මෙම නොසැලකිලිමත් කම නිසා මරණින් මතු අප සදාකල් අභාග්‍යවන්තයින් විය හැක. එනිසා මරණයට පෙර ඉක්මනින් නිවැරදි මාර්ගට පිවිස අධික ලෙස කුසල් රැස් කරගන්න. මෙලොවත් පරලොවත් ජයගන්න. එයයි අපේ මෙලොව පරම පරමාර්ථය විය යුත්තේ.

ඒ නිසා තමන්ගේ ආගම ගැනත්, අනිකුත් ආගම් ගැනත් නිවැරදි කරුණු, නිවැරදි පුස්තක පරිශීලනය කර හොයල බලන්න කියල මම ඔබලාට ආරාධනා කරනවා. සත්‍යය වටහා ගන්න මහා පොත් ගොඩක් කියවන්නම ඕනි නෑ. (කැමති නම් "විශ්ව දහම සරළව තේරුම් ගනිමු" යන මැයෙන් මා ලියූ ලිපිය කියවන්න).

ඔබට සිතුවමක සබැ ලස්සන දැක ගන්න ඕනිනම් ඔබ මදක් සිතුවමින් ඈතට ගිහින් බලන්න. ආගම් දිහාත් චුට්ටක් ඒ විදිහට බලන්න. එවිට සත්‍යය වටහා ගන්න අපහසු නෑ.

මම මුලින්ම මගේ ආගම තුලම නතර වී එයමයි පරම සත්‍යය කියා විශ්වාස කරමින් එතුල පමනක් සිටියා. රැකියාව වෙනුවෙන් මම මට පුරුදු පරිසරයෙන් ඈත් උනාට පස්සේ මට මගේ ආගම තුලත් ඉන්න ගමන් නව පරිසරයත් එක්ක මට වෙතත් ආගම් ගැනත් අධ්‍යයනය කර බලන්න අවස්ථාවක් ලැබුණා. ඉන් පස්සේ මම දැඩිව ග්‍රහණය කර සිටි මගෙ සුපුරුදු දහමින් තාවකාලිකව ඉවත් වී කිසිම දහමක් නැති කෙනෙකු ගෙ තැනට පත් වෙලා එතැන ඉදන් සත්‍යය දහම කුමක්දැයි වටහාගන්න උත්සහයකට මම පියවර තිබ්බා. ආගම් කිහිපයක් ගැනම අධ්‍යනය කලා. මිනිසුන්ගෙ හැසිරීම්  මායිම් නොකර දහම් කරුණු කෙරෙහි පමණක් අවධානය යොමු කලා. එවිටයි මට වැටහුනේ විශ්ව දහම කියන්නේ මොකක්ක්ද, සොභා දහම කියන්නේ මොකක්ද, මට උරුම දහම මොකක්ද කියල. 

එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ මට මා කවදත් ආදරය කල බුදුන් වහන්සේ කෙරෙහිත්, අපි අසා සිටි ජෙසු තුමා කෙරෙහිත්, මොහම්මද් නබි තුමා කෙරෙහිත්, සොබා දහම කෙරෙහිත්, ඒ සියල්ල නිර්මාණය කල (එහෙත් මෙතුවක් කල් නොදැන සිටි) විශ්වයේ මහා මැවුම්කාරයාණන් කෙරෙහිත් ඇතිවුනේ ඉමහත් භක්තියකි, ආදරයකි, ගරුත්වයකි.

ඔබත්  ආගමික මූලාශ්‍ර දෙස මිස පුද්ගලයන් දෙස නොබලන්න. 

සියලු දෙනාටම සත්‍ය දහම හඳුනා ගැනීමට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරමි.

SRMI center සාමාජික නවක මුස්ලිම්වරයෙක්...(ලිපි අංක 1)