උපවාසයෙන් පසුවන කෙනෙකු සුව‍ඳ විළවුන් ආළේප කළ හැකිද?

01/05/2020

උපවාසයෙන් පසුවන කෙනෙකු සුව‍ඳ විළවුන් ආළේප කළ හැකිද?

උපවාසයෙන් පසුවන කෙනෙකු සුව‍ඳ විළවුන් ආළේප කිරීමට කිසිදු තහනමක් නොපවති. සුව‍ඳ විළවුන් යනු නබි (ﷺ) තුමන් ඉතා ප්‍රිය කළ දෙයකි. හජ්, උම්රා වැනි යාඥාවන් සඳහා නියමිත සීමාවන්හි චේතනාව ඇති කරගෙන ඉහ්රාමයට ප්‍රවිශ්ටවූ කෙනෙකුට සුවඳ විළවුන් ආලේප කිරීම තහනම් බවට සෘජුව සාධක පවති. නමුත් එවැනි කිසිදු තහනමක් උපවාසයෙන් පසුවන කෙනෙකුට නොපවති.

ඉබ්නු අබ්බාස් (රලි) තුමන් විස්තර කරයි: "අරෆා කඳුවැටියෙහි (ඉහ්රාමයෙන්) කෙනෙකු තම ඔටුවා මත නබි (ﷺ) තුමන් සමග සිටින විට, ඔහු අනපේක්ෂිතව ඔටුවාගෙන් බිමට ඇද වැටුනේය. ඔහුගේ ගෙල තදින් ඇඹරුනු නිසා ඔහු මරණයට පත්විය. එවිට නබි (ﷺ) තුමන් (ඔහුගේ දේහය) ලෝට් ගසෙහි කොලවලින් මුසුවූ ජලයෙන් දිය නාවා, වස්ත්‍ර දෙකකින් කෆන් කරන ලෙසත්, සුවඳ විලවුන් ආලේප නොකර ලෙසත්, ඔහුගේ හිස ආවරණය නොකරන ලෙසත් නියෝග කළහ. අවසාන දිනයෙහි තල්බියා පවසමින් ඔහු නැගිට්ටුවනු ලබන්නේය" යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි 1266).

මිය ගිය කෙනෙකුගේ දේහය දිය නාවමින් පසු එයට සුවඳ විළවුන් ආලේප කිරීම නබි (ﷺ) තුමන්ගේ ආදර්ශයක්වූවද, ඉහ්රාමයෙන් පසුවූ කෙනෙකුට එය තහනම් බව මෙම පුවතින් මොනවට තහවුරු වෙයි.

නබි (ﷺ)තුමන් ඉහ්රාමයට ප්‍රවිශ්ට වන විට මා එතුමන්ට සුවඳ විළවුන් ආලේප කළෙමි, එසේම ඉහ්රාමයෙන් මිදීමත් සමග කඃබාව වටා සක්මන් කිරීමට පෙරද මා එතුමන්ට සුවඳ විළවුන් ආලේප කළෙමි යනුවෙන් ආයිෂා (රලි) තුමිය විස්තර කරයි. (මූලාශ්‍රය: බුහාරි 1539).

මෙම පුවත තුළිනුත් ගම්‍යමාන වන්නේ ඉහ්රාමයෙන් පසුවන කෙනෙකුට සුවඳ විළවුන් ආලේප කිරීම තහනම් බවයි. උපවාසයෙන් පසුවන කෙනෙකු කිරීමට තහනම් කරුණු අතර මෙවැනි දෙයක් නොපවති. එබැවින් උපවාසයෙන් පසුවන කෙනෙකු සුවඳ විළවුන් ආලේප කිරීමට අවසර පවති.

පිළිතුරු සපයන්නේ: මව්ලවි අස්හර් යූසුෆ්