උපවාස මාසයේදී විශේෂ අවධානය යොමු විය යුතු කරුණු

08/05/2020

Matters to be noted during the fasting month

April 30, 2020 

රමළාන් මාසය යනු ලොව පුරා විසිරී සිටින මුස්ලිම්වරුන් උපවාස කරන මාසයයි. උපවාස ශිලය ආරක්ෂා කරන කාලය තුලදී වෙනදා අනුමැතිය ලැබුණු බොහෝ දේවල් තහනම් වන්නේය. ඒ අනුව කිසිම ආහාරයක් හෝ පානයක් කුසට ඇතුලත් කල නොහැකිය. අඹු සැමියන්ට එම කාලය තුලදී සංසර්ගයේ යෙදීමට නොහැකිය. එපමණක් නොව උපවාසය කරන තැනැත්තා වෙනදාට වඩා හොඳින් සිය ඇස්, කන්, නාසය, අත්පා, හදවත ආදිය වැරදි කිරීමෙන් ආරක්ෂා කර ගන්නා බැවින් ඉන් ලැබෙන පුහුණුව රමළාන් නොවන කාලයේදී ද ප්‍රයෝජනවත් වන්නේය. මේ නිසා උපවාසය මගින් මුස්ලිම්වරුන්ගේ අධ්‍යාත්මික ශක්තිය වර්ධනය වන්නේය.
මෙම මාසයේ විශේෂත්වය වන්නේ එම මාසය තුල කරන පින් දහම් වලට අධික ලෙස කුසල් ලැබීමය. එම නිසා උපවාස මාසය යනු කෙටි කාලයක් තුලදී වැඩියෙන් කුසල් රැස්කරගැනීම සඳහා ලබා දී ඇති සුවිශේෂී මාසයක් ලෙස සැලකිය හැකිය. උදාහරණයක් ලෙස එක් ෆර්ල් නැමදුමකට 70 වාරයක් වැඩියෙන් කුලිය ලැබෙන්නේය. එක් වෛකල්පික ක්‍රියාවකට අනිවාර්ය ක්‍රියාවක් කලේ නම් ලැබෙන කුලිය ලැබෙන්නේය. මේ නිසා කෙනෙකුට වැඩි වැඩියෙන් පින් දහම් කිරීමට උනන්දුවක් සහ ආශාවක් ඇති වන්නේය. මෙය මුස්ලිම්වරුන්ට ලැබී ඇති සුවිශේෂි අවස්ථාවකි. මින් ප්‍රයෝජන ගැනීම අප සතු කාර්යයකි.
මුස්ලිම්වරුන්ට උපවාසය අනිවාර්ය කිරීමට හේතුව අල් කුරානයේ මෙසේ විස්තර කොට ඇත. "විශ්වාසවන්තයිනි! නුඹලා (අල්ලාහ් කෙරෙහි) 'තක්වා' ඇතිකර ගැනීම පිණිස නුඹලාට පෙර සිටියවුන් කෙරෙහි නියම කරනු ලැබුවා සේ නුඹලා කෙරෙහිද උපවාසය නියම කර ඇත" (කුරානය 2:183). අරාබි භාෂාවෙන් 'තක්වා' යන්නට ලබා දී ඇති අර්ථයන්ගෙන් එකක් වන්නේ අල්ලාහු තආලාගේ නියෝග හැකිපමනින් ඉටු කිරීමත් ඔහු තහනම් කර ඇති දේවල් වලින් හැකිපමනින් ඔහුගේ තෘප්තිය උදෙසා වැලකී සිටීමත්ය. කෙසේ වෙතත් මෙම කර්තව්‍යය ඉතා සාර්ථකව ඉටු කළ හැක්කේ හොඳ-නරක පිලිබඳ නිසි දැනුමක් ඇති කෙනෙකුටය. උගතුන් ගැන අල් කුරානයේ ඇති වගන්තියෙන් එය පැහැදිලි වන්නේය."අල්ලාහ්ගේ ගැත්තන්ගෙන් ඔහුට බිය වන්නේ උගතුන්මය" (කුරානය 35:28). කෙසේ වෙතත් අල්ලාහ් ප්‍රශ්න කරනු ලබන්නේ ඒ ඒ පුද්ගලයාගේ දැනුම සහ හැකියාවේ තරම අනුවය.
මෙම කුර්ආන් වැකිය රමළාන් මාසය වෙනුවෙන් පහළ නොවුනත් එය සෑම කාලයකටම ප්‍රයෝජනවත් ය. බොහෝ විට දැනුම ඇති තැනැත්තා අල්ලාහ්ට බිය බැති කමින් ජිවත් වනවා පමණක් නොව ඔහු කරන සෑම දෙයක්ම අල්ලාහු තආලාගේ නියෝග පිලිපදිම්න් සිදු කරනු ඇත. ඒ අනුව දහම ගැන අවබෝදයක් ඇති තැනැත්තාට ඔහු කරන සෑම ක්‍රියාවක්ම ඉබාදතයක් බවට පරිවර්තනය කර ගත හැකි වන්නේය. එක් හදිසයකට අනුව සාතන්ට වඩා පහසුවෙන් නොමග යැවිය හැක්කේ දහම් දැනුම නොමැති කෙනාවය. ඒ අතරම ඔහුට නොමග යැවීමට ඉතා දුෂ්කර වන්නේ දහම ගැන දැනුම ඇති උදවිය වේ.
අල්-කුරානය පහළ වීම ආරම්හ වුයේ රමළාන් මාසයේදීය. එම නිසා කුරානයටත් රමළාන් මාසයටත් කිට්ටු සම්බන්දයක් තිබේ. එය සැලකිල්ලට ගෙන මේ පුණ්‍ය රාමලාන් මාසයේදී හැකි තරම් කුරානය පරායණය කිරීමට ක්‍රියා කල යුතුය. හැකි සෑම කෙනෙක්ම කුරානයේ පරිවර්තනයක් ගෙන එහි තේරුම වටහාගැනීමට උත්සාහ කරන්නේ නම් එය වඩාත් වැදගත් ක්‍රියාවක් වන්නේය. මේ සඳහා අවශ්‍ය විට ඉස්ලාමිය විද්වතුන්ගේ උදව්ව ගැනීම වඩාත් ප්‍රයෝජනවත් විය හැකිය.
බොහෝ අය කරන කුසල් විනාශ වන්නේ ඔවුන්ගේ කට ප්‍රවේසම් කර නොගැනීම නිසාය. එබැවින් මෙම පුණ්‍ය රමළාන් මාසයේදී කිසිවෙකුගේ ඕපාදුප කතාකිරීමෙන් හැකිපමනින් වැලකී සිටීමට උත්සාහ කළ යුතුය. නැතහොත් අප මහන්සියෙන් කරන කුසල් වෙනත් කෙනෙකුගේ ගිණුමට බැර වනු ඇත. ඔවුන් කරන අකුසල් අපගේ ගිණුමට බැර වනු ඇත.
විශේෂයෙන්ම රමළාන් මාසයේදී අප කරන කුසල් ක්‍රියාවලට හානි සිදුවන්නේ නොඉවසිමෙන් කටයුතු කිරීම නිසාය. අපි කුසගින්නේ සිටින විට යම්කිසි කෙනෙක් කරන සුළු සිද්ධියටත් කිපීමෙන් අපගේ බොහෝ කුසල් විනාශ වී යා හැකිය. එබැවින් හැකිතරම් ඉවසීමෙන් සහ අනෙක් අයට සමාව දීමෙන් කටයුතු කිරීමට උත්සාහ කළ යුතුය. මෙම පුරුද්ධ රමළාන් මාසයේදී පමණක් නොව වෙනත් මාසවලදීද ප්‍රයෝජනවත් වනු ඇත.
අප කරන කුසල් විනාශ වන තවත් කරුණක් වන්නේ බිද්අත් ක්‍රියාවල නිරත වීමය. බොහෝ අයට නිවැරදි ආගමික දැනුම නොමැති කම නිසා නබිතුමා පෙන්වා නොදුන් අලුත් දේවල් දහම තුලට ඇතුලත් කරති. රමළාන් මාසයේදී සිදුවන ඇතැම් බිද්අත් ක්‍රියාවන් වන්නේ නියතය කටින් සද්ද නගා කීම, අළුයම් සලාතයට අසාන් කීමට විනාඩි කිහිපයකට පෙරාතුව සහර් කිරීම නතර කිරීම, උපවාසය අවසාන කිරීම ප්‍රමාද කිරීම, උපවාසය අවසාන කළ පසු සාමුහික දුආ ප්‍රර්ථනා සිදු කිරීම වැනි දේවල්ය.
ඇතැම් අය කුරානය පාරයනය කරන අතරම එහි ඇති නියෝගයන් උල්ලංගනය කරති. උදාහරන වශයෙන් බොරු කීම, වංචා කිරීම, මුලා කිරීම, පොලියට ගැනීම සහ පොලියට දීම, මත්ද්‍රව්‍ය භාවිතා කිරීම පෙන්වා දිය හැකිය. මෙවැනි වැරදි කරන අය ඇත්නම් මෙම පුණ්‍ය රමළාන් මාසයේදී ඒවායින් වැලකී තව්බා කිරීමට අදිටන් කර ගත යුතුය. මෙම පුණ්‍ය රමළාන් මාසයේදී එය පහසුවෙන් කළ හැක්කේ සාතන්ව බැඳ තබා ඇති නිසාය.
දැනටමත් අල්ලාහු තආලා පෙන්වා දී ඇති නිවැරදි මාර්ගයේ ගමන් කරන අය වැඩි වැඩියෙන් පින් දහම් කිරීමටත් කියාමුල් ලෙයිල් වන්දනයේ යෙදීමටත් කුරානය වැඩියෙන් පාරයනය කිරීමටත් සදකා දීමටත් පෙරට පැමිණිය යුතුය. ඇයිද යත් ඉහතදී සඳහන් කළා සේ මෙම මාසයේදී කරන සෑම සුන්නාවකටම ෆරල් වන්දනයකට ලැබෙන පින් ලැබෙන නිසාය. එබැවින් ඉන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට උත්සාහ කළ යුතුය.
ලෛලතුල් කදර් නම් මාස 1000 කට වඩා උතුම් එක් රැයක් රමළාන් මාසයේ අවසාන දින දහය තුලදී සොයා ගැනීමට නබිතුමා පවසා ඇත. එම රාත්‍රිය අපේක්‍ෂාවෙන් නබිතුමා රමළාන් මාසයේ අවසාන දින දහය මස්ජිදයේ රැඳී සිට ඇත. මෙම පුණ්‍ය කර්මයේ යෙදීමෙන් අපටද එම රාත්‍රිය ලබා ගැනීමට අවස්ථාව උදාකරගත හැකිය.
මෙම උතුම් මාසයේදී සදාකා දීම ඉතා උසස් ක්‍රියාවකි. එසේම උපවාසය කල කෙනෙකුට ඔහුගේ උපවාසය අවසාන කිරීම සඳහා උදව් කිරීමත් විශාල කුසල් ක්‍රියාවක් වන්නේය. එසේ කිරීමෙන් එම උපවාසය ඉටු කල තැනැත්තාට ලැබෙන ආකාරයටම එම උපවාසය ඇරීමට උදව් කල කෙනාටත් ලැබෙන බව නබිතුමා පවසා ඇත. මෙම කුසල් ක්‍රියාව ඉටු කිරීම සඳහා වත්පොහොසත් කමක් නැති කෙනෙකුට එක් රට ඉඳි ගෙඩියක් වුවත් එය කල හැකිය. යා අල්ලාහ් අපට මෙම උතුම් මාසයේදී වැඩි වැඩියෙන් පින් දහම් කිරීමට උදව් කරත්වා!

By Fasy Ajward.

B.Sc(Sp.Phy)Hons.J.pura,
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/