ජිවිතය විඳින්න දහමට යොමු වන්න..

11/01/2018

මෙලොව ජීවත්වන සෑම මිනිසෙකුගේම බලාපොරොත්තුව වන්නේ සතුටින් යුක්තව ජීවිතය පවත්වාගෙන යාමයි. නමුත් අප අතර ජීවත් වන බොහෝ දෙනෙක් අතරින් අතලොස්සක් හැර අන් සියල්ලෝම ජීවිතය පිළිබඳව වින්දනීය ආකල්පයක් දරන්නේ නැත. ඇත්ත වශයෙන්ම කියනවානම් බොහෝ දෙනෙක් "ඇයි මම ජීවත් වෙන්නේ ?" කියන ප්‍රශ්නයට වත් පිළිතුරු සොයාගෙන නැත. එමනිසා බොහෝ දෙනෙකුට ජීවිතය පිළිබදව බලාපොරොත්තුවක්ද නොමැත. 

බලාපොරොත්තුවක් නැති ජීවිතවලින් සතුට සහ සමාදානය ගොඩනැගෙන්නේ යයි සිතිය නොහැක. 

ඇත්ත වශයෙන්ම මිනිසාට ජීවිතය ලැබී තිබෙන්නේ මෙලොව තුළ එම ජීවිතය විදින්නයි. මෙලොව උපදින අපි හඬ හඬා පැමිණියෙමු. එතැන් පටන් සෑම මොහොතකම කෙඳිරි ගගා ජීවත් වුණෙමු. නැතිවී විනාශ වී ගිය බොහෝ දේ අතර ජීවිතය කටුක අමිහිරි අත්දැකීම් අතර ගෙවා දැම්මෙමු. අවසානයේදී බලාපොරොත්තු ජීවත් කළ අපි සියලු දේ අහිමි කොට ගෙන මෙලොවින් නික්ම යන්නෙමු.

ඇත්ත වශයෙන්ම ජීවිතය යනු කුමක්ද, ඇයි ජීවත් වෙන්නේ, ජීවිතේ අරමුණ කුමක්ද, යනාදී ලෙස තම තමන්ගෙන් ප්‍රශ්න කළ හොත් දීමට පිළිතුරක් ඔබට තිබෙනවාද? සැබවින්ම නැහැ නේද? 

එයට හේතුව බොහෝවිට බුද්ධිය මුහුකුරා ගිය සමාජය හා ගැටෙන අපි සෑම අවස්ථාවකම සිතුවිළි මෙහෙයවන්නෙ තමාගෙන් බාහිරව වූ සමාජය කෙරෙහි නිසාය. ජීවත් වීම අප අත්දකින්නේ අන්‍යයන් හා සංසන්දනය කර ගැනීමෙන් වින්දනාත්මක ස්වභාවයට පත්කර ගැනීමටය. මෙය කිසි විටෙක ඉටුනොවන සිහිනයකි.

ඇත්ත වශයෙන්ම මෙලොව පවතින සියල්ල විනාශ වී යන්නේ නම් විනාශ වී යන දෙයක් කෙරෙහි බලාපොරොත්තු තබා ගන්නේ කෙලෙසද? මේ ගැන සිතන විට ජීවිතයට ජීවිතයට සැබෑ අර්ථකථනයන් සපයන්නේ ආගමානුකූලව කරනු ලබන මඟ පෙන්වීම් තුළ පමණි. 

තවත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම් ජීවිතය විඳින්නට උගන්වන්නේ ආගම් තුළින් බව අවධාරණයෙන් ම ප්‍රකාශ කළ හැකිය. 

අප ජීවත්වන ශ්‍රී ලංකාවෙහි ප්‍රධාන වශයෙන්ම බෞද්ධ හින්දු ක්‍රිස්තියානි සහ ඉස්ලාම් යනාදී ආගම් අදහන හා විශ්වාස කරන ජනතාවක් ජීවත් වන්නේය. 

ඔබ බෞද්ධයෙක් නම් ජීවිතය පිළිබඳව සැබැවින්ම වින්දනීය මාර්ගයක් ඔබ සතුය. ලොව්තුරා තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ධර්මය ලෝකෝත්තර දහමකි. තථාගත දේශනාවට අනුව මෙලොව පවත්නා සියල්ල අනිත්‍ය වශයෙන් කල්පනා කරන විට ඔබ විසින් කළ යුතු වන්නේ නිත්‍ය දේ කුමක්දැයි ධර්මය තුළින් සොයා දැන ගැනීමයි. ශ්‍රී ලංකාව තුල ජීවත් වන්නේ බහුතරයක් බුදුදහම විශ්වාස කොට ගත් පිරිසක් ලෙසය. බොහෝවිට වර්තමාන බෞද්ධ සමාජය ධර්මයෙහි පැතිකඩ අල්ලාගෙන සිටින්නේ වැරදි සහගත ස්වභාවයෙන් යුක්තවය. බුදුරජාණන් වහන්සේ සැබැවින්ම ඔබට උගන්වා ඇත්තේ නිත්‍ය නොවන ලෝකයක් තුළ ස්ථිර වූ ජීවිතයක් ගොඩනඟා ගැනීමටය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පස්වනක් ප්‍රීතියෙන් ජීවිතය වින්දේය. එම ධර්මය තුළින් බෞද්ධ ජනතාවට ජීවිතය විඳින්නට මග පෙන්වන ලදී. 

බුදුදහම බෞද්ධයාට පමණක් උරුම දහමක් නොව එය සමස්ත මානව වර්ගයාටමත් අයිති දහමකි. පසුගිය කාලය පුරාවට අන්තර්ජාලය ඔස්සේ සිදුවූ සිදුවීම් දෙස බුද්ධිමත්ව බලන ඔබ සැබෑ බෞද්ධයෙක් නම් ඇත්ත වශයෙන්ම ඔබ නිත්‍ය වූ පැවැත්ම ස්ථිර කරගැනීමට මෙලොව බදාගෙන සටන් වදින බව නොවැටහෙන්නේද? 

සමස්ත මානව වර්ගයා වෙනුවෙන්ම පහළ වූ උතුම් ධර්මානුකූල මාර්ගය ඔබට පමණක් සීමා කොට ගෙන ඔබ වැටක් ගසා කොටු කර ගත්තේ නම් එයින් එහාට ඔබට දැක්මක් ඇතිකර ගැනීමට හැකියාවක් ලැබේවිද? 

මතක තබාගන්න බුදුරජාණන් වහන්සේ දෙශනා කර තිබෙන්නේ "යදනිච්චං තන් දුක්ඛං", යමක් නිත්‍ය වශයෙන් ඔබ අල්ලා ගත්තද එය දුකක් බව වටහා ගන්න. 

ඇත්තවශයෙන්ම අපගේ සහෘද බෞද්ධ සහෝදර සහෝදරියන් වෙත ලැබී තිබෙන්නා වූ උත්තරීතර ධර්මය තුළින් ජීවිතය දකින්නට මාර්ගය විවර විය යුතුය. පළමුවෙන් ධර්මානුකූලව ජීවිතයට අවශ්‍ය මග පෙන්වීම ලැබිය යුතුය. සිංහල සාහිත්‍ය අධ්‍යයනය කර බලන විට ඇත්ත වශයෙන්ම එය ගොඩනැගී තිබෙන්නේ බෞද්ධ දර්ශනය හා සමගාමීවය. ජනකවි, ජනකතා, පන්සිය පනස් ජාතක පොත හා සන්දේශ කාව්‍ය, යනාදී සම්‍යක් හෙළ සාහිත්‍ය නියෝජනය කරන ගද්‍ය සහ පද්‍ය අධ්‍යයනය කර බලන විට අතීතයේ හෙළ ජන ජීවිතය වින්දනය කර ඇති ආකාරය ඉතා පැහැදිලිව දක්නට ලැබේ. ඒ තුළ ආදරය, කරුණාව, කැපවීම, ඉවසීම, කෝපය, දයාව, මිනිස් ස්වභාවයක් ලෙස පැවතියද ඒවා සමාජගත කිරීමේ දී සංයමයෙන් යුක්තව සමාජගත කළ ආකාරය සාහිත්‍යය අවධාරණය කරයි. 

ඇත්ත වශයෙන්ම අද වන විට බුදුදහම පන්සලට සීමා වූ ධර්මය පමණක් වී ද? සමස්ත සත්ත්ව සමුදාය වෙනුවෙන්ම පතල මහා කරුණාවෙන් සොයා දැන ගත්තා වූ උත්තරීතර තථාගත ධර්මය මිනිසා මිනිසා අතරම භේදයක් ඇති කළේද? නැත අප තේරුම් ගත් ස්වභාවය වැරදිය. ජීවිතය විඳින්න බුදුදහම ගෙනහැර දක්වන පිටුබලය ධර්මය සොයා දැන ගැනීම ඉතා වැදගත්ය. 

ලොව්තුරා තථාගත දේශනාවේ කිසිදු ආගමකට පරිභව කරන ද්වේශසහගත ලෙස ක්‍රියාකරන ස්වභාවයෙන් යුක්ත වූ ධර්මයක් නොවේ. එය යම් රටකට, පුද්ගල කණ්ඩායමකට, යම් භාෂාවක ට, පමණක් අයිති වූ ධර්මයක් නොවේ. සමස්ත මානව වර්ගයාටම අවබෝධ කරගෙන තම තමන් පිළිපැදිය යුතු දහමකි. එය භක්තියෙන් අන්ධ වූ අති පාරිශුද්ධ වූ පිරිසකට අයිති වූවක් නොවේ. අංගුලිමාල වැනි මිනීමරුවන්, සුනීත සෝපාක වැනි සමාජයේ පීඩිත වූවන්, පටාචාරා කිසාගෝතමී වැනි ජීවිතයේ බලාපොරොත්තු කඩවූවන්, අම්බපාලි වැනි සලෙළුන් සතුටු කල ගණිකාවන්, මං පහරන සොරුන්, සුන්දරී, දේවදත්ත වැනි එදිරිවාදීන් වශයෙන් මෙකී නොකී සියල්ලන්ට විමුක්තිය සෑදූ උත්තරීතර ධර්මයකි. 

එහෙත් වර්තමානයෙහි බුදුදහම පිළිබඳව බොහෝ දේ දේශනා වුවද. සමාජය තුළ විවිධ මාතෘකා සංවාදයට භාජනය වුවද එම ධර්මය ඉදිරියේ මිනීමරුවන්, සොරුන්, ගණිකාවන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්, සමාජයේ අන්ත අසරණ පීඩාවට පත් වූවන් පිළිසරණක් ලබන්නේ ද? 

මේ ගැන ධර්මයට අනුව කල්පනා කර බලන්න. ඔබ සැබෑ බෞද්ධයෙක් නම් ඔවුන් වෙනුවෙන් ඔබගේ පියාපත් දිගු කරන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ඇත්තටම මේ ලෝකය ජීවත් වීමට හා ඔබගේ වින්දනීය ස්වභාවය සම්පූර්ණ කිරීමට ඉතා වටිනා තැනක් ලෙස මිහි මඩල ඔබ දකීවි. 

දෙනෙත් හැර, කට අයා, හැඩිදැඩි සිරුරකින් ලෝකය දකින්නට කිසිවිටෙක නොහැක. ඔබ දැකිය යුත්තේ ප්‍රඥාව නැමැති දෙනෙත විවෘත කොට, ධර්මානුකූලව ගොඩනඟාගත් වචනයෙන් කට අයා, ධර්මයට අනුකූල වූ පංචෙන්ද්‍රිය සහිත ඔබගේ ශරීරය මෙහෙයවා ලෝකය දැකීමටය. 

ධර්මය ඔබට ය. විමුක්තිය අවශ්‍ය ඔබටය. සැනසීම ඔබටය. අන් අය වෙනුවෙන් කිසිවක් කිරීමට හෝ එවැනි කිසිවක් ලබා දීමට ඔබට නොහැක. කරුණාකර මේ සියල්ල ධර්මානුකූලව ඔබම විඳින්න.

SRMI center සාමාජික-වක මුස්ලිම්වරයෙක්..ලිපි අංක -13


***(මෙම මාතෘකාව ඔස්සේ කොටස් 4 කින් මෙම ලිපිය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙමි. මේ පළමුවන කොටස යි)