මට වැරදුනාද......

12/01/2018

ජීවිතයට අරුතක් සොයා යන ගමනේදී මිනිසා විවිධ වූ මාර්ග ඔස්සේ ගමන් කරනු ලබයි. ජීවිතය අර්ථාන්විතව ගොඩනගන්න, මනසෙහි සන්තුෂ්ටිය පවත්වා ගැනීමට, සරල සුගම ජීවිතයක පහස වින්දනය කරන්නට මිනිසා උත්සාහ දරන්නේය. ඒ උදෙසා ජීවිතය යම් යම් ක්‍රියාමාර්ග ඔස්සේ විවිධාකාර ලෙස ගොඩ නඟන ආකාරය දකින්නේය. 

මිනිස් ජීවිත පිළිබඳව අධ්‍යයනය කරන විට ඉතා පැහැදලිව පෙනෙන්නේ එකිනෙකාගේ වින්දනීය ස්වභාවය එකිනෙකට පරස්පරව පවතින බවයි. 

නවීන ලෝකයෙහි ජීවත්වන මිනිසා අන්ත අසරණ ස්වභාවයකට පත්ව ඇති බව ඉතා පැහැදිලිව දැකගත හැකිය. යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, ගේ දොර මේ සියල්ල තුළ මිනිසා සතුට සොයමින් සැරිසරන්නේය. මේ වෙනුවෙන්ම මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් වහල් ස්වභාවයට පත්වී ඇත. 

මේ අදහස තවත් ආකාරයකින් කෙටියෙන්ම කියනවානම් මිනිසා ඉතා පුදුම සහගත ලෙස සැපට දුක් විඳින්නේය.අද මිනිසුන් අතර ගොඩනැගී තිබෙන විෂමතාවය හොඳින් අධ්‍යයනය කර බලන විට ඉතා පැහැදිලිව පෙනෙන්නේ භෞතික කාරණා මත මිනිසා ගැටෙන බවයි. මිනිසාගේ ආශාවන්ට සීමාවක් නොමැත. මුළු ලෝකයම තමා ගේ පාමුල උරුමයක් ලෙස පැවතියත් එයින් තෘප්තිමත් වීමට කිසිම මිනිසෙකුට හැකියාවක් නොමැත. හැම කෙනෙක්ම එකිනෙකා පරයා නැගී සිටින්නට දරන උත්සාහය අදහාගැනීමට අපහසුය.

ලෝකයේ බලවත් රටවල් සංවර්ධනය වෙමින් පවතින දිළිඳු රටවල් ක්‍රමණය කර හමාරය. සමහර රටවල් සදාකාලිකවම බලවතුන්ගේ සපත්තුවට පෑගෙමින් වහල් භාවයෙන් යුක්තව පවතින්නේය. කුමන පැත්තකින් හෝ හිස ඔසවන්නට වෙර දරන රාජ්‍යයන් කඩා බිඳ දමන්නට බලවත් රාජ්‍යයන් යම් යම් ක්‍රියාමාර්ග ඉතා රහසිගතව හා සූක්ෂමව ක්‍රියා කරගෙන යයි. මෙයද එකිනෙකා පරයා නැගී සිටින්නට දරන ප්‍රයත්නයේ එක් පැතිකඩකි.

මිනිසුන්ගේ සදාචාරාත්මක වර්ධනය පිණිස මග පෙන්වන්නා වූ ආගම් තුළ දක්නට ලැබෙන්නේ මෙවැනි ප්‍රතිරූපයකි. බොහෝ විට ලෝකයෙ ගැටුම් නිර්මාණය වී ඇත්තේ ආගම් හරහාය. ඉතිහාසය පුරාවටම යම් ගැටුමක් නිර්මාණය වී ඇත්නම් ඒ පිටුපස බලය ස්ථිර කිරීම මෙන්ම ආගමික පසුබිමද ඒකත්වයක්ව පවතින බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඇත්ත වශයෙන්ම ආගමක් නිර්මාණය වන්නේ මිනිසුන් භෞතික වශයෙන් නොව ආධ්‍යාත්මික වශයෙන් ගොඩනැගීමටය. එහෙත් වර්තමානයෙහි ආගම් වූ කලී බොහෝවිට සමාජය අතර බෙදීම් ඇති කරමින් ගැටුම් නිර්මාණය වෙමින්ම තමන්ගේ ආගමික අයිතීන් ලෝකයට ප්‍රකාශ කරමින් තමන්ගේ ආගම් උද්දීපනය කිරීමට සටන් වදිති.ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයක විටින් විට ආගමික ගැටුම් විවිධාකාර ලෙස නිර්මාණය වන ආකාරය දැකගත හැකිය. 

ආගම් පහළ වී තිබෙන්නේ මිනිසා උදෙසා වුවත් බොහෝවිට ආගම් තුළින් මිනිසාට සැනසීමක් නිදහසක් ලැබී නැත. ඇත්ත වශයෙන්ම අද වන විට මිනිසුන්ට එක පැත්කින් ආගම මහත් කරදරයකි, හිසරදයකි. මිනිසුන් තම තමන්ගේ ආගම් රැකගැනීමට සටන් කරති. තම තමන්ගේ සත්‍යතාවයන් අන් අයට පැහැදිලි කරන්නට උත්සාහ කරති. නමුත් තම තමන්ගේ ආගමික සමාජයන් තුළ වුවද එක්සත්කමක් දක්නට නොමැත. මනුෂ්‍යත්වයට වඩා ඉහළින් වූ ආගමක් මා දකින්නේ නැත. ආගම් සුරක්ෂිත කිරීමට පළමුව මිනිසා විසින් මිනිස් හැඟීම් වලට ගරු කළ යුතුය. මිනිස් ජීවිත ජීවත් කිරීමේ අභිප්‍රායන් ක්‍රියාත්මක විය යුතුය. එවැනි දර්ශනයක් නොවන ආගම් මිනිසාට අවශ්‍ය නැත. 

අද අපට දක්නට ලැබෙන්නේ ඇත්ත වශයෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ආගමික මුහුණුවරක් ය.එවැනි පසුබිමක ජීවත් වෙමින් අපි ආගමික සදාචාරය පිළිබඳව දේශනා කරන්නෙමු. ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් සොයා යාමට ආගම පිළිසරණක් වුවත් අද ඒ ආගම ම මිනිසාට මහත් හිසරදයකි. ආගම් පහළ වී තිබෙන්නේ මිනිස් ජීවිත සරල සුගම ආකාරයෙන් ගොඩ නගා ගනිමින් ජීවිතයේ සැනසීම සාක්ෂාත් කරගැනීම සඳහාය. එහෙත් අද එය කල්පනාකර බැලිය යුතු තත්ත්වයකට පත්ව තිබේ. මෙයට හේතුව බුද්ධියෙන් තොර ශක්තියක් මිනිසා අතර ක්‍රියාත්මක වීමය. බොහෝ විට තම තමන්ගේ ආගම පිළිබඳව වුවද විශ්ලේෂණය කර බුද්ධියට ඉඩ දෙන්න මිනිසාට හැකියාවක් නැත. බුද්ධියෙන් තොර භක්තිය අන්ධය. අද අන්ධ භාවයෙන් සිටින බොහෝ දෙනෙක් මඟ පෙන්වන්නන් ලෙස ක්‍රියාත්මක වීම නිසා බොහෝ දෙනකුට මග වැරදී තිබේ. අප විසින් මතක තබා ගත යුතු කරුණක් වන්නේ බුද්ධිය ආගමක් තුළ උගන්වන මූලිකම රීතිය බවයි. සත්‍ය වශයෙන්ම බුද්ධියෙන් තොර ආගමක් නැත. එමනිසා බුද්ධිය වර්ධනය කරගැනීම පවත්නා විෂය ක්ෂේත්‍රය අතර සංසරණය කිරීමට මිනිසාට ලැබෙන දායාදයකි. මක්නිසාද පවත්නා භෞතික ස්වභාවයන් තුළ ජීවත්වෙමින් ආධ්‍යාත්මික ස්වභාවය වර්ධනය කරගැනීම, ආගමික මඟ පෙන්වීම වන නිසායබොහෝවිට අද ආගමික වශයෙන් නායකත්වයක් දරන බහුතරයක් බුද්ධි හීන, මනුෂ්‍යත්වය පිළිබඳ ව නිසියාකාර දැක්මක් නොමැති ආත්මාර්ථකාමී ස්වභාවයෙන් සමාජයට අදහස් ඉදිරිපත් කරන නිසා ආගම පිළිබඳව මතවාද ගැටුම් නිර්මාණය වෙමින් පවතී. මෙම සත්‍යතාවය වටහා ගැනීමට නම් පෞද්ගලිකව ආගම යන්න කුමක්ද පිළිබඳව අවබෝධ කරගෙන තම තමන්ගේ ජීවිත තුළ ම සත්‍යතාවයන් ගොඩනැගිය යුතුය. අද ආගම් දේශපාලනය හා ආර්ථිකය සමාජ දර්ශනය ලෞකික ජීවිත වල කුදුමහත් කාර්යයන් මෙකී නොකී සියල්ලම ආක්‍රමණය කොට තිබේ. සමහරවිට ආගමකින් තොරව හුස්ම ගැනීමට වත් මිනිසාට ඉඩක් නැත. මනුෂ්‍යත්වය ඉක්මවා ක්‍රියාත්මක වන වැරදි සහගත ආගමික දර්ශනයන් පැහැදිලිව අවබෝධ කරගැනීමට දියුණු කරගත යුත්තේ බුද්ධියයි. බුද්ධියෙන් තොරව සුගතියක් ලබන්නට මෙලොවදී මිනිසාට හැකියාවක් නැත. එසේ නම් පරලොව පිළිබඳව කෙසේ නම් ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්නද. කල්පනා කර බැලීම ඔබ සතුය. 

SRMI center සාමාජික-වක මුස්ලිම්වරයෙක්..ලිපි අංක -14